ජාතික ජන බලවේගය දේශපාලන වශයෙන් ළදරු වැඩ කරන්නේ නැහැ – මහාචාර්ය ජයදේව උයන්ගොඩ

මම නම් හිතන්නේ නැහැ නන්දන ගුණතිලක මහතා ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක් කියලා, මම දන්න තරමින් එවැනි තත්ත්වයක් නැහැ. ඔහුගේ අභාවය ආණ්ඩුවට හෝ විපක්ෂයට සැලකිය යුතු බලපෑමක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ.  මම නොදැන එතුමා ආණ්ඩුවට එරෙහිව ලොකු කාර්යභාරයක් කළා ද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ තක්සේරුව අනුව මේක ඒ තරම් දේශපාලන ප්‍රතිඵලයක් ඇති වුණ මරණයක් නෙමෙයි. ඒක නන්දන ගුණතිලක මහත්මයාගේ අවාසනාව.

නන්දන ගුණතිලක මහත්තයා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්න කාලේ කවදාවත් මට හමුවෙලා නැහැ. මට ඔහුව හමු වුණේ එකම අවස්ථාවකයි, මගේ මතකයේ හැටියට 2018 වර්ෂයේ අවසාන දවස්වල ‘යහපාලන පෙරමුණ’ හදන කාලේ දවසක ඔහු අපේ ගෙදර ආවා. ඔහු එදා රටේ දේශපාලන තත්ත්වය ගැන විනාඩි 45ක් පමණ මාත් සමඟ කතා කළා. ඒ හැරෙන්න මට එතුමා හමුවෙලා, සාකච්ඡා කරලා අත්දැකීමක් නැහැ. නමුත් මම දන්නවා නන්දන ගුණතිලක මහත්මයා ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් වගේ හිටියා. ඒ නිසා තමයි ඔහුට 1999 ජනාධිපතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලැබෙන්නේ. නමුත් ඔහු පසු කාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වුණා. ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. නමුත් එතුමා පසු කාලයේ දී එක්සත් ජාතික පක්ෂයට එකතු වෙලා පානදුර නගර සභාවේ නගරාධිපති ධුරයට පත් වුණා. නමුත් මට මතක හැටියට එතුමා පසු කාලීනව නිහඬව සිටියා. නමුත් පසුගිය මාස කිහිපය තුළ ඔහු නැවත වරක් දේශපාලන කරළියට ආවා. ඒ අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා සම්බන්ධ සිද්ධියක් නිසා. රංග දිසානායක මහත්මයා කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නීති උපදේශකයෙක් ලෙස හෝ නීතිඥ මණ්ඩලයක සිටි බවත් ඒ සඳහා අවශ්‍ය සාක්ෂි තමා ළඟ තිබෙන බවත් ඔහු මාධ්‍ය හමුවේ කිව්වා.

නමුත් ඒ අවස්ථාවේ දී මට හිතුණේ නන්දන ගුණතිලක මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අතකොළුවක් බවට පත් වූ බවයි. මං ඒ ගැන කනගාටුවට පත් වුණා. ඔහු එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයයේ හිටියට මට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වගේ වාමාංශික, ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක ඉතිහාසයක් තිබෙන කෙනෙක් එක්සත් ජාතික පක්ෂය වාගේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂයක දේශපාලන අතකොළුවක් වීම ගැන මම සෑහෙන කනගාටුවට පත් වුණා. ඒකට හේතුව, මට එතුමා ගැන පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ වගේ වාමාංශික ප්‍රගතිශීලී බලවේගයක ඉඳලා යළි කොහොමද අන්ත දක්ෂිණාංශික දේශපාලනයට මාරු වෙන්නේ කොහොමද ? කියන එක මට ප්‍රශ්නයක් වුණා.

නන්දන ගුණතිලක මහතාට සමාන ඉරණමක් විමල් වීරවංශ මහතාටත් අත්වුණා. ඔහු කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි පෙළ නායකයෙක් ලෙස කටයුතු කළා, කාලයක් එහි ප්‍රධාන කථිකයා ලෙසත් කටයුතු කළා. නමුත් ඔහු ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය යටතේ කටයුතු කළා. මහින්ද රාජපක්ෂ දේශපාලන වශයෙන් අන්තයට පිරිහුණු කාලයේ තමයි ඔහුත් මහින්ද රාජපක්ෂ කඳවුරට එකතු වුණේ. මේක එක්තරා ආකාරයක දේශපාලන ප්‍රහේලිකාවක්. වාමාංශික පක්ෂවල, නැතිනම් වාමාංශික ප්‍රවණතාවක් තිබෙන දේශපාලන පක්ෂවල අය ඇයි අභ්‍යන්තර මතභේදවල ප්‍රතිඵලයක් විදිහට පක්ෂ අතහැර යන්නේ ?, ඇයි වඩාත් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරවලට යන්නේ නැතුව, දක්ෂිණාංශික, නැතිනම් ජාතිවාදී දේශපාලන බලවේගය වලට යන්නේ ? කියන එක මට ප්‍රහේලිකාවක් වුණා. කොහොම වුණත් විමල් වීරවංශ මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ සිටිය කාලය තුළ වුණත් සිංහල ජාතිවාදී නැඹුරුවක් තිබුණ කෙනෙක්. මේ ආකාරයට එකිනෙකාගේ දේශපාලන පිරිහීම් ඇති වෙන්නේ ඇයි කියන එක මට දේශපාලන ප්‍රහේලිකාවක් වුණා. නමුත් මෙහි දී විලෝමයකුත් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ලෙස කටයුතු කළ කුමාර් ගුණරත්නම් සහ පුබුදු ජාගොඩ පක්ෂ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ජවිපෙන් බිඳී ගියත් අන්ත දක්ෂිණාංශය වෙත නො ගොස් වඩාත් ප්‍රගතිශීලී මාවතක් තෝරා ගත්තා.

මන්ත්‍රී විශ්‍රාම වැටුප පිළිබඳ ඉතිහාසය බැලුවත්, වර්තමානය බැලුවත් මට තිබෙන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට වඩා තරමක් වෙනස් මතයක්. 1930 ගණන්වල සිටම දේශපාලනය පැමිණි ප්‍රධාන ධාරාවේ අය ලොකු සල්ලිකාරයෝ, ඉඩම් හිමියෝ, වෘත්තිකයෝ. ඒ නිසා ඔවුන්ට ඒ කාලේ විශ්‍රාම වැටුපක් අවශ්‍ය වුණේ නැහැ. සේනානායකලා, ජයතිලකලා, කොතලාවලලා, බණ්ඩාරනායකලා, ජයවර්ධනලා වගේ අයට විශ්‍රාම වැටුපත් අවශ්‍ය වුණේ නැහැ. නමුත් පස්සේ කාලේ සාමාන්‍ය පංතියේ අය දේශපාලනයට ආවා. ඒ අතර ප්‍රකට උදාහරණයක් තමයි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මැතිතුමා. එතුමා මේ රටේ කීර්තිමත් දේශපාලනඥයෙක්. එතුමා දේශපාලනයෙන් විශ්‍රාම ගියාට පස්සේ ඉතාම දුප්පත් පුද්ගලයෙක් බවට පත් වුණා. නෑදෑයින් විසින් පවා අත්හැර දැමූ පුද්ගලයෙක් බවට එතුමා පත් වුණා. එතුමගේ ප්‍රශ්නය උඩ තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත ගෙනාවේ.

ඒ වගේම 1956න් පස්සේ පාර්ලිමේන්තුවට පැමිණි බොහෝ දෙනෙක් කම්කරු පංතිය, ගොවි ජනතාව සහ පහළ මංධ්‍යම පංතිය නියෝජනය කළ අය. ඒ කාලේ මැති – ඇමැතිවරු වුණත් හම්බ කරන්නත් බැහැ. ඒ නිසා ඔවුන්ටත් ඒ කාලේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයක් තිබුණා. ඒක ප්‍රශ්නයක් ලෙස මතු නොවුණත් ඒ කාලෙත් එවැනි ගැටලු තිබුණ අය හිටියා. ඒවගේම එක අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරු 39ක් පත් වුණා. ඔවුන්ගෙන් වැඩි දෙනා අඩු ආදායම් ලාභීන්, සමහරු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයෝ. ඒ අයටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද ජනතා විමුක්ති පෙරමුණේ නැහැ, ඇතැමුන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින්. නමුත් ඔවුන්ට විශ්‍රාම වැටුපක් ලබා දිය යුතු ද – නැද්ද කියන එක ලොකු ප්‍රශ්නයක්.

මේ සම්බන්ධයෙන් දැන් පාර්ලිමේන්තු පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම මෙම පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් කිහිපයකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. මගේ පුද්ගලික මතය නම් මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් යම් තීරණයක් ගන්නේ නම් දුගී පසුබිමකින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට ජීවත් වීමට යම්කිසි ආධාරයක් කළ යුතු බවයි.

ලංකාවේ දේශපාලනයේ මන්ත්‍රීවරු කොටස් දෙකක් ඉන්නවා. එක කොටසක් ධනවත්, ව්‍යාපාරික, ඉඩම් හිමි හෝ ඉහළ වෘත්තීය පසුබිමක් ඇති අය. ඔවුන් සහ ඔවුන්ගේ දූ පුතුන් ආර්ථික වශයෙන් ඉතාම සමෘද්ධිමත්.  තවත් කණ්ඩායමක් ඉන්නවා (සියලුම දේශපාලන පක්ෂවල) දුගී පවුල් පසුබිමක් සහිත. ඒ අය මන්ත්‍රීවරුන් අතර අවංක, දූෂණයෙන් තොර, සල්ලි උපයා නොගත් පිරිසකුත් සිටිනවා. අපි දන්නවා 1978න් පස්සේ විශාල මුදලකට පක්ෂ මාරුව සිදුවෙනවා. නමුත් ඒවා නොකළ මන්ත්‍රීවරුන් විශාල පිරිසකුත් ඉන්නවා. ඒ වගේම දුප්පත් පවුල් පසුබිමකින් ඇවිත් මුදල් හම්බ කළ අයත් ඉන්නවා. නොකළ අයත් ඉන්නවා. මගේ අදහස අනුව නම්, දූෂණයේ නොයේදී, මන්ත්‍රී ධුරය ධනය එකතු කිරීමට යොදා නොගත් අවංක දේශපාලනඥයින් ඉන්නවා නම් ඔවුන්ට යම්කිසි විශ්‍රාම වැටුප් සහනයක් ලබාදීම ගැන ආණ්ඩුව සලකා බැලිය යුතුයි. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ ගැන සලකා බැලිය යුතු බවයි මගේ අදහස.

රාජ්‍ය ප්‍රතිපත්තිවලට මාර්ගෝපදේශ ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්. අදාළ පෙත්සම් විභාග කිරීමේ දී මේ කාරණය ගැන ලිහිල්ව සහ සානුකම්පිතව බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථාවක් තිබෙනවා.

ඒ ගැන මට හරියට කියන්න අමාරුයි. නන්දන ගුණතිලක මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්නේ නන්දන ගුණතිලක ලෙස නොවෙයිනේ, ඔහු ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා. ඒක ඔහු පක්ෂය වෙනුවෙන් කළ දෙයක්. ඔහු තනි පුද්ගලයෙක් නෙමෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ 1990 ගණන්වල හෝ ඊට පසුව ප්‍රධාන පෙළේ හිටපු අය ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙනවා. ඔවුන් එසේ ඉවත් වුණාට පස්සේ නොසිතූ විරූ ලෙස එහි හිටපු නායකයින්ට වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු පිරිස් ඇවිල්ලා 2024 දී ජාතික ජන බලවේගය මැතිවරණ ජයග්‍රහණයක් කරා ගෙන යාමට නායකත්වය දීලා ජනාධිපති, අගමැති, කැබිනට් ඇමතිකම් ලබා ගන්නවා.  අද අග්‍රාමාත්‍යවරියට බවට පත්ව සිටින්නෙත් හිටපු ජවිපෙ නායකයින්ට වඩා ඉතාම කනිෂ්ට කෙනෙක්නේ. අපි හැමෝම මිනිස්සුනේ. ඒ නිසා ජවිපෙ හිටපු නායකයෝ අතර පසුතැවිල්ලකුත්, ඒ පසුතැවිල්ල පදනම් කරගත් ද්වේශයකුත් තිබෙන බව මට පේනවා.

ජාතික ජන බලවේගය 2024 ජනාධිපතිවරණය දිනයි කියලා මේ කවුරුත් හිතුවේ නැහැ. නන්දන ගුණතිලක මහත්මයා පවා ඒ ගැන නොහිතන්න ඇත. සමහර විට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළා නම් එජපයේ නගරාධිපතිවරයෙක් වශයෙන් හිටිය නන්දන ගුණතිලක මහත්මයාට දේශපාලන වශයෙන් තව ටිකක් ඉහළට යන්නත් සමහර විට අවස්ථාව තිබුණා.  මේ තත්ත්වයට විමල් වීරවංශ මහත්මයා ඇතුළු තවත් කිහිප දෙනෙක් මුහුණ දුන්නා. ඒ අයත් මේ දිනවල එළියට බහිනවා. ඒ අය බලාපොරොත්තු වුණේ එක්සත් ජාතික පක්ෂය, පොදු ජන පෙරමුණ හෝ සමගි ජන බලවේගය යන පක්ෂ තුනෙන් එකක් බලයට  පත් වෙයි කියලා. නමුත් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණ සමඟ හිටපු ජවිපෙ නායකයින්ගේ සහ ප්‍රබලයින්ගේ අපේක්ෂා සුන් වුණා. ඒ වගේම මේ සියලු දෙනාටම, වත්මන් විපක්ෂය නියෝජනය කරන සියලු දෙනාටම තමන්ගේ අනාගතය ගැන විශාල අවිනිශ්චිතභාවයක් තිබෙනවා.

ජාතික ජන බලවේගය බොහෝ විට ඉදිරි මැතිවරණ ද ජයග්‍රහණය කරන බව දැනට තිබෙන තත්ත්වය අනුව පැහැදිලියි. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට විපක්ෂයට තිබෙන අවකාශය අඩුයි.

ඒකට ප්‍රධාන හේතුව තමයි 2024 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණයෙන් ඒ අය පරාජයට පත් වුණේ ඇයි කියන එක ගැන කිසිම ගැඹුරු දේශපාලන විග්‍රහයක් විපක්ෂයේ කිසිම කණ්ඩායමකට හෝ ඔවුන්ට සහාය ලබා දෙන බුද්ධි මණ්ඩල තුළ වත් සිදුවෙන්නේ නැහැ. ඔවුන් දේශපාලන ස්වයං විවේචනයක් කරලා, වත්මන් දේශපාලන යථාර්ථයට ගැළපෙන ආකාරයට වෙනස් විය යුතුයි, සංශෝධනය විය යුතුයි. නමුත් මේ සඳහා විපක්ෂයේ කිසිම දේශපාලන කණ්ඩායමකට හැකියාවක් තිබෙන බවක් දැනට නම් පේන්න නැහැ. ඒ නොහැකියාව දිගටම පවත්වා ගෙන යනවා නම් ඔවුන්ට හැමදාම විපක්ෂයේ සිටීමට පමණක් නොවෙයි ඉදිරි කාලයේ දේශපාලනමය වශයෙන් අවලංගු වීමට පවා සිදුවෙනවා. ඔවුන්ට ඒ ගැන අවබෝධයක් නැති වුණත් ඔවුන්ගේ අනාගතය, ඒ කියන්නේ දේශපාලන අනාගතය සහ පුද්ගලික අනාගතය එකට සම්බන්ධයි. ඒ දෙකම සාර්ථක විය යුතුයි. පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වය ලැබෙන්නේ දේශපාලන සාර්ථකත්වය උඩයි, දේශපාලන සාර්ථකත්වය සිදු නොවන විට ඔවුන්ට පැවැත්ම පිළිබඳ අර්බුදයකට මුහුණ දීමට සිදුවෙනවා. ඒ තුළ තමයි එක්තරා ආකාරයකට ජනතා විමුක්ති පෙරමුණ මත පදනම් වුණ ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳ ඔවුන්ගේ ද්වේශය, වෛරය සහ කෝපය මිශ්‍ර ප්‍රතිචාරයක් මේ දිනවල දැක ගන්න ලැබෙන්නේ.

නන්දන ගුණතිලක මහතාගේ අවාසනාවට ඔහුත් මම ඉහත විස්තර කළ තත්ත්වයේ සිටයි පසුගිය කාලයේ දේශපාලනය කළේ. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ වැඩ කිරීම තුළින් යම්කිසි කීර්තියක් දිනා ගෙන සිටියා නම් පසුගිය කාලේ ඒක සම්පූර්ණයෙන් නැතිකර ගත්තා, විශේෂයෙන් අන්තිම මාස හයක පමණ කාලය තුළ මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුණා.

මම නම් හිතන්නේ නැහැ නන්දන ගුණතිලක මහතා ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක් කියලා, මම දන්න තරමින් එවැනි තත්ත්වයක් නැහැ. ඔහුගේ අභාවය ආණ්ඩුවට හෝ විපක්ෂයට සැලකිය යුතු බලපෑමක් කරයි කියලා මම නම් හිතන්නේ නැහැ.  මම නොදැන එතුමා ආණ්ඩුවට එරෙහිව ලොකු කාර්යභාරයක් කළා ද කියලා මම දන්නේ නැහැ. නමුත් මගේ තක්සේරුව අනුව මේක ඒ තරම් දේශපාලන ප්‍රතිඵලයක් ඇති වුණ මරණයක් නෙමෙයි. ඒක නන්දන ගුණතිලක මහත්මයාගේ අවාසනාව.

මම හිතන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විපක්ෂය ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ අරමුණ අවංක එකක් නෙමෙයි. ඔවුන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා බැලුවේ ආණ්ඩු බලය ඩැහැගන්න ජනතාව කුලප්පු කරන්න පුළුවන් අවස්ථාවක් හැටියටයි. පසුගිය දිට්වා සුළි කුණාටුව අවස්ථාවේත් විපක්ෂය කල්පනා කළේ ‘එක ‍ආණ්ඩු බලය ඩැහැ ගැනීමේ ඔවුන්ගේ වැඩපිළිවෙළට දෙවියන් වහන්සේගෙන් ලැබුණු තල්ලුවක් ලෙස’යි. විපක්ෂය ආණ්ඩුවේ සෑම දුර්වලකමක්ම පාවිච්චි කරන්නේ මේ ආණ්ඩුවට එරෙහිව මහජනයා කුලප්පු කිරීමට සහ ඒ මාර්ගයෙන් ආණ්ඩු බලය ඩැහැ ගැනීමටයි. විපක්ෂයේ අරමුණ මේකයි. ඔවුන් 2022 අරගලය නැවත අලුත් සංස්කරණයකින් ගේන්න පුළුවන් වෙයි කියලා. මම දකින ආකාරයට ඒක සම්පූර්ණයෙන්ම වැරදි දේශපාලන අපේක්ෂාවක්. විපක්ෂයට එවැනි දේශපාලන අපේක්ෂාවක් තිබෙනවා නම් ඒකෙන් පේනවා විරුද්ධ පක්ෂය වැටිලා ඉන්න දේශපාලන මඩ වඟුරේ තරම.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අඩුපාඩු තිබුණත් ආණ්ඩුව ඉතාම නිවැරදි ලෙස ඒකට ප්‍රතිචාර දැක්කුවා. තවත් වැදගත් දෙයක්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක මොඩියුලයක, එක වාක්‍යයක තියෙන ප්‍රශ්නයක් අරගෙන තමයි විපක්ෂය විශාල ප්‍රචාරයක් අරන් යන්නේ. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වුණේ අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රමාත්‍යවරිය. ඒකෙන් කාරණා දෙක – තුනක් ප්‍රදර්ශනය වුණා. එකක්, ඔවුන් හිතුවා මේ ආණ්ඩුවේ තියෙන දුර්වලතම තැන අගමැතිනිය කියලා. ඒ නිසා විපක්ෂයේ සම්පූර්ණ ඉලක්කය බවට අගමැතිනිය පත් වුණා. ඒ නිසයි අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස බල කළේ. නමුත් විපක්ෂය හිතාගෙන ඉන්න ආකාරයේ ආණ්ඩුවක් නෙමෙයි මේ ආණ්ඩුව. ඊට වඩා ගැඹුරට දේශපාලනය ගැන හිතන ආණ්ඩුවක් මේක. ජාතික ජන බලවේගය දේශපාලන වශයෙන් ළදරු වැඩ කරන්නේ නැහැ.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 25 කලාපයේ ප්‍රකාශයට පත්කරන ලද ලිපියකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website