ආර්ථික තීරණ ගැනීමේ දී උඟඩු නොවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අනුප්‍රාප්තික ගිවිසුමක් වහාම අත්සන් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
රජය එසේ නොකළහොත් යළි බංකලොත්වීමෙ අවදානමකට මුහුණ දිය හැකි බවට ද විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීමක් කළේය.
සමගි ජන බලවේගය ගුරු සංගමය පිහිටුවීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීම පක්ෂ මූලස්ථානයේ පැවති රැස්වීමක් අමතමින් විපක්ෂ නායක ප්‍රේමදාස මහතා පැවසුවේ, රටේ ආර්ථික තත්ත්වය ස්ථාවර බව රජය ප්‍රකාශ කළ ද, පවතින දත්ත ඊට වෙනත් කතාවක් ප්‍රකාශ කරන බවයි.
“ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7ක් පමණ පවතින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙම සංචිතවලින් කොටසකට නිදහසේ භාවිතා කළ නොහැකි චීන යුවාන් වත්කම් ඇතුළත් වෙනවා. එයින් ඇඟවෙන්නේ ඵලදායී සංචිත තත්ත්වය ප්‍රකාශිත ප්‍රමාණයට වඩා අඩු බවයි. ජාත්‍යන්තර මිණුම් සලකුණු වලට අනුව අවම වශයෙන් මාස තුනක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් සංචිත රටක් තුළ පැවැතිය යුතුයි. නමුත් ශ්‍රී ලංකාවට එවැනි තත්ත්වයක් නැහැ.
ශ්‍රී ලංකාවේ මාසික ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 2ක් පමණ ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. නමුත් අප සතුව මාස තුනක ආනයනය සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත නැහැ” විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මැදපෙරදිග පවතින ආතතීන් ඇතුළු ගෝලීය වර්ධනයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිතකර ලෙස බලපෑ හැකි බවට ප්‍රේමදාස අනතුරු ඇඟවීය.
විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් බිලියන 8ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතත්, ගැටුමක ඕනෑම වැඩිවීමක් සංක්‍රමණික රැකියාවලට තර්ජනයක් විය හැකි අතර ගලා ඒම් අඩු කළ හැකි බව ද විපක්ෂ නායකවරයා පැවසුවේය.
“COVID-19 වසංගතය සහ 2022 ආර්ථික අර්බුදය අතරතුර ශ්‍රී ලංකාවට සහාය දුන් ඉන්දියාවත් අද යම්කිසි ආර්ථික දුෂ්කරතාවකට මුහුණ දෙමින් සිටිනවා. එනිසා පෙර අර්බුදවල දී මෙන් ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාවට හැකියාවක් නැහැ. නමුත් අපේ ආණ්ඩුව අර්බුදය සම්බන්ධයෙන් නිසි පරිදි ජනතාව දැනුවත් කරන්නේ නෑ. නමුත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අර්බුදයේ සැබෑ තත්ත්වය තමන්ගේ ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කළා” විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.















