
චාරුක පීරිස් – පර්යේෂක – අරුත සංවිධානය
තමිල්නාඩු ප්‍රාන්තය ද ඇතුළු දකුණේ ප්‍රාන්ත කිහිපයක පසුගිය දා පැවැති මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ලබා ගත් විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂ ප්‍රකාශයක් කළේය. මෝදිගේ එම ප්‍රකාශයට ප්‍රධාන මූලය වූයේ මැදපෙරදිග කලාපයේ උද්ගතව පවතින ගැටුම්කාරී තත්ත්වය, විශේෂයෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සමඟ ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අර්බුදයයි.
මෙම ප්‍රකාශය පදනම් කරගනිමින් වත්මන් ඉන්දීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා දෙස බලන විට අපට පෙනී යන්නේ, ඉන්දියාව ද මේ අවස්ථාවන වන විට යම්කිසි ආර්ථික ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පාමින් සිටින බවයි. උදාහරණයක් ලෙස පසුගිය දා නිකුත් කළ විශේෂඥ වාර්තාවක සඳහන් වූයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 10කින් ඉහළ යන විට ඉන්දියාව මාසිකව ඉන්ධනවලට වැය කරන මුදල ඩොලර් බිලියන 13කින් ඉහළ යන බවයි.
ඉන්දීයාව ආර්ථික දුෂ්කරතා මැද
ගැටලුව වන්නේ ඉන්දීය ආර්ථිකය ද වර්තමානය වන විට යම්කිසි අර්බුදකාරී තත්ත්වයකට ලක්ව තිබීමය. ඊට සමගාමීව ගෑස් මිල සහ සැපයුම සම්බන්ධ ගැටලුව ද ඉන්දීය ආර්ථිකය සහ සාමාන්‍ය ජන ජීවිතය තුළ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇත.
මේ අතර ඉන්දියාව තවත් තීරණාත්මක තීන්දුවක් ගත්තේය, ඒ සීනි අපනයනය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා අත්හිටුවීමය. මෙම තීරණය ගැනීමට හේතුව වූයේ ඉන්දීයාවේ දේශීය අවශ්‍යතා වෙනුවෙන් සිය සීනි නිෂ්පාදනය රැක ගැනීමට ඉන්දියාව තීරණය කිරීමය.
ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ද වර්තමානය වන විට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇත. විශේෂයෙන් පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පොහොර සහ ඉන්ධන ලබා ගැනීමට 18%ක් වැනි ඉහළ පොළියකට ණය ලබා ගන්න තත්ත්වයට පත්ව ඇත. ඊට හේතුව වන්නේ පොහොර සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම සහ සැපයුම ප්‍රමාණවත් නොවීමයි.
“මෙවැනි වාතාරවරණයක් තමයි මේ අවස්ථාවේ ඉන්දියාව තුළ ගොඩනැගෙමින් තිබෙන්නේ. මේ අර්බුදයේ ප්‍රකාශනයක් ලෙස තමයි නරේන්ද්‍ර මෝදි ජනතාව හමුවට ඇවිත් කියන්නේ, රත්‍රං මිලදී ගැනීම සීමා කරන්න, සංචාරය සීමා කරන්න කියලා. මෝදි ඉන්දීය ජනතාවට කියනවා ‘පටි තදකර ගන්න’ කියලා” චාරුක පීරිස් ඉන්දියාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සහ ඊට ආණ්ඩුව දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් කරමින් පැවසුවේය.

ඉන්දියාවේ සහාය
මෙහි දී චාරක පෙන්වා දුන්නේ පසුගිය වසර කිහිපය තුළ ‘ලංකාව අර්බුදයකට මුහුණ දුන් සෑම අවස්ථාවක දීම (ආර්ථික, සෞඛ්‍ය හෝ ස්වභාවික ව්‍යසන) ‘පළමු ප්‍රතිචාර දක්වන්නා’ ලෙස ඉදිරිය පැමිණියේ ඉන්දියාව බවයි.
“2020-22 ආර්ථික අර්බුදය වේවා, කොවිඩ් වසංගතය වේවා, දිට්වා සුළි කුණාටුව වේවා මේ සෑම අවස්ථාවකම ලංකාවට මුලින්ම උදව් කරන්න ඉදිරිපත් වුණේ ඉන්දියාව. අපිට මතකයි කොවිඩ් -19 වසංගය ආරම්භ වූ අවස්ථාවේ දී ලංකාවට අවශ්‍ය එන්නත් ලබා දෙන්න මුලින්ම කැමැත්ත පළ කරන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි. මම හිතන ආකාරයට ඉන්දු – ලංකා මානුෂිය සබඳතා වල හැරවුම් ලක්ෂයක් මේ අවස්ථාවේ සටහන් වුණා. චීනයත් අපට එන්නත් ලබා දෙන්න සූදානමින් සිටියත් ලංකාව ඉන්දියාවෙන් එන්නත් මිලදී ගැනීමට තීරණය කළා. ඒ අවස්ථාවේ ඉන්දියාවෙන් එන්නත් ලබා ගන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පමණයි” කොවිඩ් වසංගතයෙන් පසුව පැමිණි ආර්ථික අර්බුදයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන හතරකට අධික මුදලක් සහනදායි කොන්දේසි මත ලබා දුන් ආකාරය සිහිපත් කළ චාරුක පීරිස්, 2023 දී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුලෙන් ණය ලබා ගැනීමට අවශ්‍ය ‘මූල්‍ය ආරක්ෂණය’ ලබාදීමට ද ඉන්දියාව ගත් පියවර ද අගය කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් චාරුක තර්ක කළේ පසුගිය වසර පහක පමණ කාලය තුළ ලංකාව මුහුණ දුන් සෑම අර්බුදයක දීම මුලින්ම ප්‍රතිචාර දක්වන්නා පමණක් නොව අර්ථික සහාය ලබා දෙන්නා බවට ද ඉන්දියාව ස්වේච්ඡාවෙන් පත්වූ බවයි.
තම තර්කය තහවුරු කරමින් ඔහු මෙසේ ද පැවසුවේය, “සමස්තයක් ලෙස ආර්ථික අර්බුදය සමයේ දී ඉන්දියාව අපට සැලකිය යුතු ලෙස උදව් කළා. ඒ වගේම දිට්වා සුළි කුණාටුවෙන් පැය 72ක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ ඉන්දියාව තමයි අපට විශාලම සහයෝගය ලබා දුන්නේ. ඉන්දීය නෞවුක හමුදාව සහ ගුවන් හමුදාව අපට විශාල සහායක් ලබා දුන්නා. එපමණක් නොවෙයි, ඒ අවස්ථාවේ ඩොලර් මිලියන 450ක මූල්‍ය සහයෝගයක් ලබා දුන්නා. මේ සෑම දේකින්ම පේන්නේ කුමක් ද ? අපි අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකම ඉන්දියාව අපව ගලවා ගන්න එනවා. මැදපෙරදි අර්බුදය අවස්ථාවේ පවා, ලංකාවේ තෙල් ප්‍රශ්නය ඇති වුණ අවස්ථාවේ ඉන්දිය ඔයිල් සමාගම හරහා ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 32,000ක් ඉන්දියාව විසින් ලබා දුන්නා. මේ අනුව අපට පේනවා පසුගිය අවුරුදු පහක පමණ කාලය තුළ ඔ්නෑම අර්බුදකාරී අවස්ථාවක ලංකාව ගළවා ගැනීමට මූලික පියවර ගත්තේ ඉන්දියාව කියලා”.
ඉන්දියාව ගැන ආකල්ප වෙනස් වීම
මෙහි දී චාරක පෙන්වා දුන්නේ ඉන්දියාවෙන් පසුගිය කාලය තුළ ලැබුණු මෙම සහයෝගය හේතුවෙන් ‘අපි’ ඉන්දියාව ලෙස බලන ආකාරයේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇති බවයි.
“ඒ වෙනස් වීමේ ප්‍රතිඵලය අපි පසුගිය අප්‍රේල් මාසයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය තුළ අපි දැක්කා. විදේශ රාජ්‍ය නායකයෙකුට ලංකාවේ දී ලැබෙන ඉහළම පිළිගැනීම, ලංකාව විදේශ රාජ්‍ය නායකයෙකුට පිරිනමන ඉහළම සම්මානය පවා ශ්‍රී ලංකා රජය එතුමාට ප්‍රදානය කළා. මේ අනුව අපට පේනවා අවස්ථානුකූලව ඉන්දියාව අපව ගළවා ගැනීමේ මෙහෙයුමක නිරත වෙනවා, ඒකට අවශ්‍ය මූලික පියවර ගන්නවා. නමුත් වර්තමාන තත්ත්වය තුළ, මැදපෙරදිග යුදමය වාතාවරණය තුළ ඉන්දියාවටත් ‘පටි තදකර ගැනීමේ මෙහෙයුමකට’ යන්න සිද්ධ වෙලා තිබෙනවා” චාරුක පැවසුවේය.
මෙහි දී චාරුක පෙන්වා දුන්නේ ඉන්දියාව මෙන්ම මේ වන විට ලංකාවේ ආණ්ඩුවටත් ස්වයං ආරක්ෂණ පියවර ගැනීමට සිදුව තිබෙන බවයි. ඒ අනුව විදේශ සංචිත ආරක්ෂා කර ගැනීමට කඩිනම් පියවර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද පැවසුවේය.
ඉන්දු – ලංකා සබඳතා
වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ‘එකම පාරක’ ගමන් කරමින් සිටින බවත්, ඒ වැනි අවස්ථාවක ශ්‍රී ලංකාව නැවත වරක් අර්බුදකාරී අවස්ථාවට ගියොත් (ගියෝතින් යන වචනය භාවිත කළ යුතුයි) නැවත වරක් ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට හැකියාව තිබේද ? යන ගැටලුව අප හමුවේ තිබෙන බව චාරුක පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වයට බලපාන හේතු දෙකක් තමා හඳුනා ගත් බව කී චාරුක, මේ අවස්ථාවේ ලංකාවට ‘වැඩිපුරම’ බලපාන ආර්ථික කාරණා දෙක් හෙළි කළේය.
“නරේන්ද මෝදි ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටියා විදේශ සංචාර තාවකාලිකව අඩුකරන්න කියලා. අපි දන්නවා ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් පැමිණෙන්නේ ඉන්දියාවෙන්. 2022 දී ලංකාවේ සමස්ත සංචාරක පැමිණීම්වලින් 17%ක් ඉන්දීය සංචාරකයින්. එම අගය 2025 දී 22.5%ක් දක්වා ඉහළ ගියා. මේ අනුව පැහැදිලි වෙනවා ලංකාවේ සංචාරක කර්මාන්තයේ ‘ප්‍රධාන බලවේගය’ බවට ඉන්දීය සංචාරකයින් පත්ව සිටිනවා. ඊළඟට ශ්‍රී ලන්කන් එයාර්ලයින් ගුවන් සේවය. ඉන්දිය සංචාරකයින්ගෙන් 22%ක පමණ ප්‍රමාණයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය භාවිත කරනවා. මේ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයටත් ඉන්දිය සංචාරකයින් හරහා සැලකිය යුතු ආදායමක් ලැබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ගමන් වාර 180ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපට ඉතාම පැහැදිලියි ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉන්දීය සංචාරකයා ‘ඉතාම’ වැදගත් කියලා. ඒ වගේම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සංචාරක කර්මාන්තය ඉතාම වැදගත් බව අපි දන්නවා. සංචාරක ව්‍යාපාරය හරහා ලැබෙන විදේශ විනිමය මේ වන විට සැලකිය යුතු ලෙස පහත වැටෙමින් තිබෙනවා. ඒ නිසා තමයි අපේ විදේශ සංචිත රැක ගැනීමට මේ තරම් වෙහෙසක් ගැනීමට සිදුවෙලා තියෙන්නේ. මේ පසුබිම තුළ ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුණොත් ලංකාවේ ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති වෙනවා” ඉන්දියාව මේ අවස්ථාවේ මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා හමුවේ සංචාරක ව්‍යාපාරයට සහ සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා තව දුරටත් පැහැදිලි කරමින් චාරුක පෙන්වා දුන්නේය.
කොළඹ වරාය
ඉන්දියාවේ ප්‍රති අපනයනයෙන් බහුතර කොටසක් සිදුකරන්නේ කොළඹ වරාය හරහා බවත් ඉන්දියාවේ සමස්ත බහාලුම් හැසිරවීම්වලින් 70ක් සිදුවන්නේ කොළඹ වරාය හරහා බවත් චාරුක පෙන්වා දුන්නේ.
“ඉන්දියාවට කොළඹ වරාය ඉතාම වැදගත්. ඒ නිසා තමයි පසුගිය කාලයේ කොළඹ වරායේ සංවර්ධනයට ඉන්දිය ආයෝජකයින් ඍජුව මැදිහත් වුණේ. නමුත් පසුගිය කාලය තුළ ඉන්දියාව දකුණු ඉන්දියාව ආශ්‍රිතව තවත් වරායන් කිහිපයක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මේ වන විට සංවර්ධනය කළ දකුණු ඉන්දීය වරායන් හරහා කන්ටේනර් මිලියන 10කට ආසන්න ප්‍රමාණයක් හසුරවලා තිබෙනවා. මෙන්න මේ කාරණා දෙක (සංචාරක සීමා ද ඇතුළුව) ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලට දැඩි ලෙස බලපානවා කියලා කියලා අපට පේන්න තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව නැවත වරක් අර්බුදකාරී තත්ත්වයකට ගියෝතින් ඉන්දියාව විසින් ලංකාවට ලබා දෙන සහයෝගය සීමා වෙන්න පුළුවන්. (ඔවුන් විසින් අනිවාර්යයෙන්ම ලංකාවට සහයෝගය ලබා දෙනවා. විශේෂයෙන්ම දකුණු ඉන්දියාව තුළ ඉන්දියාවට ‘හවුල්කාරයෙක්’ ලෙස ඉන්නේ ලංකාව පමණයි. ඒ නිසා ඉන්දියාව අපට අනිවාර්යයෙන්ම සහයෝගය ලබා දෙයි. ඒත් ඒ සහයෝගයේ ප්‍රමාණය ගණනය කිරීමට හැකියාවක් නැහැ).

කච්චතිව් සහ විජේ
මෙහි දී චාරුක කච්චතිව් දූපත හා සම්බන්ධයෙන් ද සිය අදහස් ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ කච්චතිව් සම්බන්ධයෙන් ‘තමාට සුළු කියවීමක්’ තිබෙන බවයි.
“අපි දන්නවා තමිල්නාඩු මහ ඇමැතිනිය ලෙස කටයුතු කළ ජයලලිතා ජෙයරාම් 2011 දී කච්චතිව්වල අයිතිය ලබා දෙන ලෙස ඉල්ලා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ගියා. එහිදී ජයලලිතා ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය තමයි 1960 ‘වෙරුබ්බාරි’ කියන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව. ඒ තීන්දුවේ කියනවා ඉන්දියාව සතු යම්කිසි භූමියක් ඉන්දියාවෙන් ඉවත් වෙනවා නම් හෝ ඉන්දියාවට එකතු කර ගැනීමක් කරනවා නම් ඒක සිද්ධ වියයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හරහා කියලා. මේ තීන්දුව පදනම් කරගෙන තමයි ජයලලිතා ශ්‍රේෂ්ඨාධිකරණය ගියේ. නමුත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදී නැහැ.
“ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ මේ ගැටලුව ගැන රටවල් දෙක අතර සාකච්ඡා කරලා අවසන් තීන්දුවක් ගන්න කියලා. ඒ අනුව තලපති විජේගේ ආගමනයත් එක්ක කච්චතිව් සම්බන්ධයෙන් ඔහුට කළ හැකි බලපෑම ‘ඉතාම අල්පයි’ කියලා තමයි මමත් හිතන්නේ” චාරුක පීරිස් වැඩි දුරටත් සඳහන් කළේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’කාලීන සමාජ සංවාද මාලාවේ 274 වැනි කතිකාව පසුගිය 15 වැනි ඉරිදා ‘නව දේශපාලන ප්‍රවණතා තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවයන්හි හෙට දවස’යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස හිටපු තානාපති සුමිත් නාකන්දල, නීතිඥ ශිරාල් ලක්තිලක සහ අරුත සංවිධානයේ චාරුක පීරිස් සහභාගී වූ අතර මහාචාර්ය රොහාන් සමරජීව විසින් කතිකාව මෙහෙයවනු ලැබුවේය. මෙම කතිකාවේ දී චාරුක පීරිස් මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සටහන – තුෂාල් විතානගේ















