ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) සඳහා රුපියල් මිලියන 75,000ක ණය දීමට භාණ්ඩාගාරයේ අනුමැතිය

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායන් හා කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට 2026 වසර සඳහා වෙන්කළ රුපියල් මිලියන 95,000කට අධික මුදලින් 80%කට අධික මුදලක් ණය වශයෙන් ලබාදීමට මුදල් අමාත්‍යාංශය මඟින් අනුමැතිය ලබා දී ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSMEs) විසින් ශ්‍රී ලංකා ආර්ථිකයට සිදුකරනු ලබන ඉහළ දායකත්වය සැලකිල්ලට ගනිමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා රජය විසින් 2026 වර්ෂය සඳහා ණය යෝජනාක්‍රම කීපයක් ක්‍රියාත්මක කරනු ලබයි.ඒ සඳහා රුපියල් මිලියන 95,000කට ආසන්න අරමුදල් ප්‍රමාණයක් වෙන් කරන ලද අතර, 2026 වර්ෂයේ තෙවන කාර්තුවේ මුල් භාගය වන විටම, ඉන් මිලියන 75,000කට අධික ප්‍රමාණයක් උපයෝජනය කර ඇත.

මෙම අරමුදල් ප්‍රධාන වශයෙන් අංශ තුනක් සඳහා වෙන්කර ඇති අතර, එහිදී, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසාය සංවර්ධන ණය වැඩසටහන් සඳහා ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂිකාර්මික භෝගයක් වන වී වගාව සඳහා විශේෂ අවධානය යොමු කරමින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් මෙන්ම, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආර්ථික දායකත්වය සැලකිල්ලට ගනිමින් එම ක්ෂේත්‍රය ආශ්‍රිත ව්‍යාපාර හා ව්‍යවසායන් සංවර්ධනය කිරීම අරමුණු කරගත් වැඩසටහන් සඳහා ද මෙම අරමුදල් වෙන්කර ඇත. මීට අමතරව, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රධාන බාධාවක් වන ණය ලබා ගැනීමේදී අවශ්‍ය ඇපකර සපයාගැනීමේ අපහසුතාවයට විසඳුමක් ලෙස “ඇප රහිත” ණය පහසුකම් ශ්‍රී ලංකා ජාතික ණය සුරැකුම් ආයතනය හරහා ලබා දීමට කටයුතු කර ඇත.

මෙම සමස්ත වැඩසටහන මගින්, ග්‍රාමීය මට්ටමේ සුළු ව්‍යාපාරවල සිට ඉහළ විදේශ විනිමය  උපයන ව්‍යවසායයන් දක්වා වූ පුළුල් පරාසයක් නියෝජනය කරන විවිධ ක්ෂේත්‍රයන් සවිබල ගැන්වීම හරහා රටේ දළ ජාතික නිෂ්පාදිතය සහ ඒකපුද්ගල ආදායම ඉහළ නැංවීමට බලාපොරොත්තු වේ. මෙම සහනදායී ණය යෝජනාක්‍රම බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ඔවුන්  දක්වන දායකත්වය ද ඉතා ප්‍රශස්ත වන අතර මෙකී අරමුදල් බිම් මට්ටමේ ව්‍යාපාර දක්වා රැගෙන යාමේදී ඉතා කාර්යක්ෂම හා සඵලදායී මෙහෙවරක් ඉටුකරයි. සියලු ප්‍රදේශ, ජනකොටස් හා ක්ෂේත්‍ර ආවරණය වන්නාවූ ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමේ අරමුණින් දිවයින පුරා විසිරී පවතින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කර ගනිමින් මෙම ණය යෝජනාක්‍රම ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් ග්‍රාමීය ප්‍රදේශ හා සියලු කේෂත්‍රයන් ආවරණය වන‍ පරිදි මෙහි ප්‍රතිලාභ ගලාගොස් ඇති බව ණය ලබා දීමේ ප්‍රගතිය මගින් පැහැදිලි වේ.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ඇති කිරිමේ ක්‍රියාවලියේ මුලික අංගයක් වනුයේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සවිබල ගැන්වීමයි. ඒ සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 95,000 ක පැකේජයක් වෙන් කර ඇති අතර සෘජුවම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීමට ඉන් රුපියල් මිලියන 55,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා ක්‍රියාත්මක වන ණය යෝජනාක්‍රම
අනු  අංකයණය යෝජනාක්‍රමයවෙන්කරන ලද මුදල (රු. මි.)ණය ප්‍රතිලාභීන් සංඛ්‍යාව  ප්‍රගතිය (රු. මි.)වෙන් කරන ලද මුදලින් % ලෙස
1ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා වන ණය යෝජනාක්‍රමය (Re-MSME Plus)25,7002,64525,987101%
2විස්තීරණ ආපදා සහන ණය යෝජනාක්‍රමය9,3003,9668,05987%
3සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය – චක්‍රීය ණය5,9362213,53059%
4සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශ සංවර්ධන වැඩසටහන (යෝජිත- iv වන කාර්තුව 2026)7,750  2026 වර්ෂයේ සිව්වන කාර්තුව තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ වේ.  
5තිරසර කෘෂි වැඩසටහන – කෘෂිකාර්මික ණය යෝජනාක්‍රමය (යෝජිත- iv වන කාර්තුව 2026)6,200  2026 වර්ෂයේ සිව්වන කාර්තුව තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භ වේ.  
 එකතුව54,8866,83237,57768.5%

මෙම වැඩසටහන මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ආයතන 15ක් සමඟ එක්ව ක්‍රියාත්මක කරයි. මෙහි ප්‍රගතිය මාසිකව සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් විමසා බලන අතර එමගින්  ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මුහුණ දෙන අභියෝග හඳුනාගනිමින් ඊට අවශ්‍ය ප්‍රතිපත්තිමය මග පෙන්වීම කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විධිමත් සහ විනිවිදභාවයකින් යුතුව සුදුසුම ව්‍යවසායකයා වෙත ප්‍රතිලාභ ලබාදීමට සමත් වී ඇත. 

ඒ අනුව, වෙන්කර ඇති අරමුදල්වලින් 80%ක් පමණ මේ වනවිටත් අදාළ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ලබා දීමට සමත්වී ඇති අතර, මෙම සියලු වැඩසටහන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් රාජ්‍ය හා පෞද්ගලික බැංකු පහළොවක් (15) සමග එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.

සියලුම ණය යෝජනාක්‍රම ඩිජිටල් ණය කළමනාකරණ පද්ධතියක් හරහා ක්‍රියාත්මක වන අතර, එමගින් වඩා කාර්යක්ෂමවත්, ඵලදායී ලෙසත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව  සමත්වී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙකී වැඩසටහන් ඉහල විනිවිදභාවයකින් සහ සුදුසුම ව්‍යවසායකයා තෝරාගෙන ඔවුන් වෙත ප්‍රතිලාභ ලබාදීමේ කඩඉම ජයගැනීමට සමත් වී ඇත. එහිදී එකී ව්‍යවසායකයින් හඳුනාගැනීමේ ක්‍රමවේදය තුළදී තනි ආයතනයක් මඟින් තීරණ ගැනීම වෙනුවට අදාළ රේඛීය අමාත්‍යාංශ  සමඟ සම්බන්ධවී අවශ්‍ය කටයුතු සිදුකිරීමට, එනම් කර්මාන්ත විෂයභාර අමාත්‍යංශය, කෘෂිකර්ම විෂයභාර අමාත්‍යාංශය වැනි රේඛීය අමාත්‍යාංශ හරහා  සුදුසුම ව්‍යවසායකයින් සහ ගොවීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් සකස් කර ඇති අතර, එමඟින් අවශ්‍ය පුද්ගලයාට නියමිත පරිදි මෙකී සහන ණය ලබාදීමේ ක්‍රමවේදය සවිමත් කිරීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම සමාජයේ නිරන්තර කතාබහට ලක්වන කාන්තා ව්‍යවසායකයින් මෙන්ම තරුණ ව්‍යවසායකයින් කෙරෙහි ද මෙම වැඩසටහන් තුළින් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය චක්‍රිය ණය යෝජනාක්‍රමය යටතේ   ලබා දෙන ණය මුදල් සංඛ්‍යාවෙන් අවම 20%ක් කාන්තා ව්‍යවසායකයන්ටත් තවත් 20%ක් තරුණ ව්‍යවසායකයින්ටත් ලබාදීමට අනිවාර්ය කර ඇත. එමගින් එම විශේෂ සමාජ කාණ්ඩ  වෙත වැඩි ඉඩප්‍රස්ථා ලබා දී ඇත. එසේම, පසුගිය දිට්වා සුළිකුණාටුවෙන් හා ආර්ථික අර්බුද සමයේදී පීඩාවට පත් වූ ව්‍යවසායකයන් කෙරෙහි ද රජය විශේෂ අවධානයක් යොමු කර ඒ සඳහා සුවිශේෂි වූ ණය යෝජනා ක්‍රම 2ක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ව්‍යවසායකයන්ට වාර්ෂික 3%ක පොලී ප්‍රතිශතයක් යටතේ උපරිම මිලියන 25ක් දක්වා කාරක ප්‍රාග්ධනය ලබා දීමට “ආපදා ණය යෝජනාක්‍රමයක්” ක්‍රියාත්මක කළ අතර, ඒ සඳහා රු.මිලියන 10,000ක් වෙන්කළ අතර 2026 ජූලි මස අවසන් වන විට ඉන් රු.මිලියන 8,000ක් ආපදාවට ලක්වූ ව්‍යවසායකයින් 3,966 දෙනෙකුට ලබාදී ඇත. ප්‍රතිලාභ ලබාගත් ව්‍යවසායකයින්ගෙන් 90%කට වඩා වැඩි පිරිසක් ක්ෂුද්‍ර හා සුළු පරිමාණ ව්‍යවසායකයන් වේ.

එසේම, පසුගිය ආර්ථික අර්බුද සමයේදී පීඩාවට පත් වූ ව්‍යවසායකයන් කෙරෙහි ද රජයේ අවධානය යොමු කරමින්  පවත්නා බැංකු පද්ධතිය මගින් තවදුරටත් ණය පහසුකම් ලබාගත නොහැකි අක්‍රීය ණය කාණ්ඩයේ ව්‍යවසායකයින් හට ඒ සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලබාදීමට රජය පියවර ගෙන ඇති අතර, එම වැඩසටහන යටතේ අක්‍රීය ණය කාණ්ඩයේ සිටින ව්‍යවසායකයින් 70 දෙනෙකුට රු.මි. 235ක ණය මුදලක් කාරක ප්‍රාග්ධන ණය වශයෙන්  ලබා දී ඇත. ඊට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය ලබාදුන් අවස්ථාව ප්‍රයෝජනයට ගත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 342ක් ණය ප්‍රතිව්‍යුහගත  බැංකු ආයතන හා ගිවිසුම්ගතව තම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කර ඇත.

මෙම අරමුදල් ගලා යන ක්ෂේත්‍ර හඳුනා ගැනීමේදී රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් දක්වන ක්ෂේත්‍රයන් සඳහා ප්‍රමුඛතාවය ලබා දී ඇති අතර, නිදසුනක් වශයෙන් රට තුළට විදේශ විනිමය ගලා එන ප්‍රධාන මාර්ගයක් වන සංචාරක කර්මාන්තය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර, මෙතුළින් සංචාරක ක්ෂේත්‍රයේ නව උද්දීපනයක් ඇති කර විදෙස් සංචාරකයින් රටතුළට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පුද්ගලික අංශය හරහා දියුණු කිරීමට අපේක්ෂා කෙරේ. එසේම, ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන ශක්තිමත් කරමින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතවන ව්‍යවසායකයින් සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සඳහා වන ප්‍රවේශය පුළුල් කිරීමට ද මෙම ණය යෝජනාක්‍රම මගින් කටයුතු කර ඇති අතර, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය  සඳහා වැඩි නැඹුරුවක් ඇති තරුණ තරුණියන්ට මෙම වැඩසටහන් තුළින් සිය නැවුම් අදහස් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මංපෙත් විවර කර ඇත.

එසේම මීට පෙර ක්‍රියාත්මක කරන ලද ණය වැඩසටහන් වැඩි ණය ප්‍රමාණයක් බස්නාහිර පලාතේ  කොළඹ, ගම්පහ වැනි දිස්ත්‍රික්ක වලට බෙදී ගිය නමුත්, මෙම වැඩසටහනේ ණය මුදල් දිස්ත්‍රික්ක 25 පුරාම බෙදී යන ලෙස ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව, මුළු ණය ප්‍රමාණයෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් බස්නාහිරින් පිට අනෙකුත් පළාත්වලට ලබා දී ඇති අතර වගා ණයවලින් වැඩි ණය ප්‍රමාණයක් අනුරාධපුර, පොලොන්නරුව, යාපනය, හම්බන්තොට වැනි දිස්ත්‍රික්වලට ලබා දී ඇත. මෙහිදී යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිවු වැනි උතුරු නැගෙනහිර දිස්ත්‍රික්ක සඳහා සැලකිය යුතු වගා ණය ප්‍රමාණයක් ලබා දී ඇත.

රජයේ අරමුදල් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ලබා දෙනු ලබන අරමුදල් ද භාවිත කරමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහනේ රජයේ අරමුදල් යටතේ රුපියල් මිලියන 25ක උපරිමය දක්වා 5%ක පොලිය යටතේ ණය මුදල් ලබාගත හැකි අතර,  ආසියානු සංවර්ධන බැංකුවේ සහය ඇතිව ක්‍රියාත්මක වන ණය  වැඩසටහන යටතේ 6%ක වාර්ෂික පොලී අනුපාතයකට උපරිම රු.මි. 50ක් ලබාගත හැක.

මෙම අරමුදල් බෙදා වෙන් කිරීමේදී, රටේ ආර්ථිකය සඳහා වැදගත් දායකත්වයක් ලබාදෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා ද රජයේ  වැඩි අවධානයක් යොමු වී ඇති අතර,  ඒ අනුව ” නව සපිරි ණය යෝජනාක්‍රමය හෙවත් සරුසාර ණයයෝජනාක්‍රමය”  යටතේ භෝග වර්ග 34ක් සඳහා  වගා ණය පහසුකම් ලබා දෙයි. එතුළින් තරුණ කෘෂි ව්‍යවසායකයින් සඳහා ආයෝජන අවස්ථා විවර කර ඇති අතර 2026 වසරේ මෙම ණය යෝජනාක්‍රමය හරහා ලබා දීමට සැලසුම් කළ  මුළු ණය ප්‍රමාණය රු. මිලියන 25,000කි. බැංකු පද්ධතියේ සක්‍රිය දායකත්ව හා කෘෂිකර්මාන්තයේ ඇති වී තිබෙන පිබීදීමත් සමඟ 2026 අගෝස්තු මස වන විට මෙම ඉලක්කයන් ළඟා කර ගැනීමට සමත් වී ඇති අතර මේ වන විට මෙම ණය යෝජනාක්‍රමය යටතේ ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය රු.මිලියන 26,000ක් පමණ වේ. එමෙන්ම රජයේ වී මිලදී ගැනීම් වැඩසටහනට සමගාමීව පුද්ගලික අංශ හරහා  රජයේ සහතික මිලට වී මිලදී ගැනීම දිරිමත් කිරීම සඳහා ඔඩපණ ණය යෝජනාක්‍රමයත්  හදුන්වා දී ඇති අතර, තෝරාගත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට උපරිම රුපියල් මිලියන 75ක් සහනදායි පොලී අනුපාතයට ලබා ගත හැක. මෙම ණය යෝජනාක්‍රමය යටතේ රු.මිලියන 11,000ක් පමණ වී මෝල් හිමියන්ට ලබා දී ඇති අතර එමගින් මිලදී ගත් ප්‍රමාණය වී මෙට්‍රික් ටොන් 70,000ක් පමණ වේ.

කෘෂිකාර්මික අංශය සඳහා ක්‍රියාත්මක වන ණය යෝජනාක්‍රම
අනු  අංකයණය යෝජනාක්‍රමයවෙන්කරන ලද මුදල   (රු. මි.)  ණය ප්‍රතිලාභීන් සංඛ්‍යාව  ප්‍රගතිය (රු. මි.) වෙන් කරන ලද මුදලින් % ලෙස
1තිරසර කෘෂි වැඩසටහන – කෘෂිකාර්මික ණය යෝජනාක්‍රම80020151364%
2නව සපිරි ග්‍රාමීය ණය යෝජනාක්‍රම25,00050,12525,943104%
3සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා  සමූපකාර සමිති සඳහා වන ඔඩපණ ණය යෝජනාක්‍රමය15,00045111,56377%
 එකතුව40,800 50,77738,01993%

2026 යල කන්නය සඳහා රජයේ සහතික වී මිල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් ප්‍රමිතියෙන් යුතු වී, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමූපකාර සමිති හරහා මිලදි ගැනීමට රු.මිලියන 7,500ක් වෙන් කර  ඇති අතර, එම අරමුදල් අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් හරහා එම දිස්ත්‍රික්කය තුළ සිටින සුළු හා මධ්‍ය පරිමාණ වී මොල් හිමියන්ට හා සමූපකාර සමිතිවලට ලබා දීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන යටතේ උපරිම රු.මිලියන 25ක් පොලි රහිතව  වී මිලදි ගැනීම සඳහා ලබා දීමට සැලසුම් කර ඇත.

එසේම, රජය පොරොන්දු වූ  පරිදි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට  ඇප රහිත ණය  සී/ස ජාතික ණය සුරැකුම් ආයතනය,  රජයේ සහ පුද්ගලික බැංකු ආයතන සමඟ එක්ව ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන අතර, මේ වන විට  රු.මි.14,000කට ආසන්න ණය වටිනාකමකින් යුතු ණය 2,143ක් සඳහා රු.මි.9,650කට ආසන්න වටිනාකමකින් යුතු ඇපකර දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි නිකුත් කර ඇත. 

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ඉලක්ක කර ගනිමින් මෙම සහනදායී ණය පැකේජය ක්‍රියාත්මක කිරීම හරහා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ආදායම් උත්පාදනය ඉහළ නැංවීම මෙන්ම, එමඟින් සමාජයේ සියලුම කොටස් ආවරණය වන තිරසාර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම අපේක්ෂා කෙරේ.

මෙම සහන පොලී ණය යෝජනා ක්‍රියාත්මක වීම නිසා වෙළදපොළ ව්‍යවසායකයින් තුළ නව බලාපොරොත්තු ගොඩ නැගී ඇති අතර වසරේ තුන්වන කාර්තුව වන විටත් වෙන් කළ මුදල්වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බැවින්  මෙම ණය යෝජනාක්‍රම තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. එම නිසා,  ලබන වසරේදී මෙවැනි සහනදායී ණය යෝජනාක්‍රම සඳහා වැඩි මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කිරීමේ හැකියාව සොයා බැලීමටත් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website