උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදැමීමට නිෂ්පාදකයින් එකඟ වෙයි – කුකුළු මස් මිල තවදුරටත් පහළට

එළඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට කිසිදු හිඟයකින් සහ මිල ඉහළ යාමකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සහ උත්සව සමය තුළ බිත්තර මිල කිසිසේත් ඉහළ නොදමා දැනට පවතින මිල ගණන් යටතේම වෙළෙඳපොළට නිකුත් කිරීමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟතාව පළ කළේය.

කුකුළු මස් මිල තවදුරටත් අඩු කිරීම සිදුවන අතර (වෙළෙඳපොළේ කුකුළු මස් මිල මේ වන විටත් පහළ යමින් පවතින අතර), උත්සව සමයේදී හිඟයකින් තොරව සැපයුම ලබා දෙන බවත් මිල තවදුරටත් අඩු වන බවටත් නිෂ්පාදන හා වෙළෙඳ සංගම් සහතික විය.

සුළු පරිමාණ ගොවීන් මුහුණ දෙන සත්ත්ව ආහාර ගැටලු හේතුවෙන් බිත්තර නිෂ්පාදනයට වන බලපෑම සැලකිල්ලට ගනිමින් සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත්, සියලුම සත්ත්ව ආහාර නිෂ්පාදකයින් ලියාපදිංචි කර නිෂ්පාදනාගාර පරීක්ෂාවට ලක් කිරීමටත් අමාත්‍යවරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා මහතා, අතිරේක ලේකම් ගිල්මා දහනායක මහත්මිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම සුළු හා මහා පරිමාණ බිත්තර හා සත්ත්ව නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයින් ඇතුළු ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website