
අවසන් මහා තරගයේදී අයර්ලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම ICC කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ (ICC Women’s Emerging Nations Trophy 2026) ශූරතාව දිනා ගැනීමට සමත් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි කර්වාන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ලකුණු 97ක ඉලක්කය පන්දුවාර 12.4කදී කඩුලු 4ක් පමණක් දැවී පසුකර යමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණය තහවුරු කරගත්හ.
ලකුණු 97ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉමේෂා දුලානි නොදැවී රැස් කළ ලකුණු 44 එම ජයග්‍රහණයේ කැපී පෙනෙන දායකත්වය බවට පත්විය. පන්දු 25කට මුහුණ දුන් ඇය හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් සිය ඉනිම ගොඩනැගුවාය.
ඉලක්කය හඹා යෑමේදී ආරම්භක පිතිකාරිනිය වූ සංජනා කාවින්දි පන්දු 22කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 25ක් ලබා ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නාය. කෙසේ වෙතත්, ලකුණු පුවරුව 35ක්ව තිබියදී පිට පිට පන්දු දෙකකදී සංජනා කාවින්දි සහ නායිකා හර්ෂිතා සමරවික්‍රම දැවී යෑමෙන් ශ්‍රී ලංකාව යම් පීඩනයකට ලක්විය.
අයර්ලන්ත පන්දු යවන්නියන් වූ කියා මැකාට්නි සහ කාරා මරේ කඩුලු දෙක බැගින් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 69ක් දක්වා සීමා කිරීමට සමත් වූහ. එහෙත් එතැන් සිට ඉමේෂා දුලානි සමඟ එක්වූ කවීෂා දිල්හාරි පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 30ක සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ. කවීෂා පන්දු 10කදී හතරේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 16ක් රැස් කළාය.
ඊට පෙර පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 96ක් පමණි. ආරම්භයේ සිටම අයර්ලන්ත පිතිකාරිනියන් පාලනය කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ පළමු කඩුල්ල ලකුණු 5දී දවාගත් අතර, ලකුණු 10ක් වන විට කඩුලු දෙකක් බිඳ වැටී තිබිණි. පසුව පන්දුවාර 12ක් ඇතුළත ලකුණු 54කට කඩුලු 6ක් දවා ගනිමින් අයර්ලන්ත ඉනිම දැඩි අසීරුතාවකට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ ඇලනා ඩැල්සෙල් පන්දු 25කදී හතරේ පහරක් සමඟ ලකුණු 24ක් රැස් කළාය. ලුයිස් ලිට්ල් ලකුණු 15ක් සහ ජෝර්ජිනා ඩෙම්ප්සි ලකුණු 13ක් ලබා ගත්හ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සත්‍යා සන්දීපනී පන්දුවාර 4කදී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තාය. කවීෂා දිල්හාරි ලකුණු 16කට එක් කඩුල්ලක් ද, සුගන්ධිකා කුමාරි ලකුණු 19කට එක් කඩුල්ලක් ද දවාගත් අතර, නිමාෂා මීපගේ සහ චේතනා විමුක්ති ද එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ. ඊට අමතරව දුවද්දී දැවී යෑම් දෙකක් ද වාර්තා විය.
මෙය ICC කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන තරගාවලියේ දෙවැනි අදියර වන අතර, 2025 වසරේ පැවැති පළමු අදියරේ ශූරතාව තායිලන්තය විසින් දිනාගෙන තිබිණි. ඒ අනුව මෙවර ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව තරගාවලියේ දෙවැනි ශූරයන් බවට පත්විය.
අයර්ලන්ත කාන්තා කණ්ඩායම – 96 (පන්දුවාර 19.3යි) – ඇලනා ඩැල්සෙල් 24, ලුයිස් ලිට්ල් 15, ජෝර්ජිනා ඩෙම්ප්සි 13, සත්‍යා සන්දීපනී 13/4, කවීෂා දිල්හාරි 16/1, සුගන්ධිකා කුමාරි 19/1, නිමාෂා මීපගේ 21/1, චේතනා විමුක්ති 24/1
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 99/4 (පන්දුවාර 12.4යි) – ඉමේෂා දුලානි නොදැවී 44, සංජනා කාවින්දි 25, කවීෂා දිල්හාරි නොදැවී 16, කියා මැකාට්නි 16/2, කාරා මරේ 38/2















