MCC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්ව ක්‍රිකට් නීති සිංහල සහ දමිළ භාෂාවලින් හඳුන්වා දෙයි

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය (MCC) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) එක්ව ක්‍රිකට් ක්‍රීඩාවේ නීති මාලාව සිංහල සහ දෙමළ භාෂාවන්වලට පරිවර්තනය කර තිබේ. මෙම වැඩපිළිවෙළ මඟින් ශ්‍රී ලංකාවේ සියලුම මට්ටම්වල ක්‍රිකට් ක්‍රීඩකයන්ට තම මව් භාෂාවෙන් ක්‍රිකට් නීති මාලාව කියවා අවබෝධ කරගැනීමට අවස්ථාව සැලසේ.

එමෙන්ම විනිසුරුවන්, තරග නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට ක්‍රීඩාවේ නීති පිළිබඳ දැනුම සහ අවබෝධය තවදුරටත් පුළුල් කරගැනීමට ද මෙම පරිවර්තන මහත් පිටිවහලක් වනු ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ක්‍රිකට් නීති මාලාව සිංහල සහ දෙමළ භාෂාවලින් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පරිවර්තන ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

මෙම පරිවර්තන උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු අධ්‍යාපන අංශය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි විනිසුරුවන් පුහුණු කිරීම, විභාග පැවැත්වීම සහ උපදේශනය ලබාදීම සිදු කිරීමට නියමිතය. ඒ අනුව සිංහල සහ දෙමළ භාෂා ඔස්සේ විනිසුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂා කරන කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයටම නව අවස්ථා විවර වනු ඇත.

1787 වසරේ ආරම්භයේ සිට ක්‍රිකට් ක්‍රීඩාවේ නීති මාලාවේ භාරකාරත්වය දරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ අනුමැතිය ද සහිතව මෙම පරිවර්තන කටයුතු සාර්ථකව අවසන් කර තිබේ.

ක්‍රිකට් නීති සංශෝධනය කිරීම, ඒවා සමාලෝචනය කිරීම සහ නව නීති කෙටුම්පත් කිරීම සම්බන්ධ වගකීම එම්.සී.සී. නීති අනුකමිටුව සතු වන අතර, එම සංශෝධන සඳහා එම්.සී.සී. ප්‍රධාන කමිටුවේ අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ.

මෙම පරිවර්තන ව්‍යාපෘතිය අවසන් කිරීම පිළිබඳ නිල දැනුම්දීම අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකදී සිදු කෙරිණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සභාපති සිදත් වෙත්තමුණි මහතා, එම්.සී.සී. ක්‍රිකට් ප්‍රධානී ෆ්‍රේසර් ස්ටුවර්ට් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විනිසුරු අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ලින්ඩන් හැනිබල් මහතා එක්ව සිටියහ.

මාධ්‍ය හමුවෙන් අනතුරුව ෆ්‍රේසර් ස්ටුවර්ට් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර, එහිදී ක්‍රිකට් නීති මාලාව සහ විශේෂයෙන්ම මෑතකදී සිදුකරන ලද නීති සංශෝධන පිළිබඳව අවධානය යොමු කෙරේ.

ක්‍රිකට් නීති මාලාවේ භාරකාරත්වය දරන ආයතනයේ නියෝජිතයකුගෙන් සෘජුවම දැනුම ලබාගැනීමට මෙම වැඩමුළුව ශ්‍රී ලංකා විනිසුරුවන්ට සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website