
දඹදෙණිය පුරාණ රජමහා විහාරස්ථානයේ භාරකාර විහාරාධිපති පූජ්‍ය කඩවත්මඩුවේ සුමනතිස්ස නායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ පූජනීය මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් දඹදෙණිය රජමහා විහාරයේ ඉපැරැණි දළදා මැදුරේ සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි එම ස්ථානය පරීක්ෂා කර කඩිනම් සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා වූ මූලික නිරීක්ෂණ චාරිකාවක තමා පසුගිය දා යෙදුණු බව ද අමාත්‍යවරයා පැවසුවේය.
මෙම අවස්ථාව සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින්, අධ්යක්ෂ (වාස්තුවිද්‍යා සංරක්ෂණ), අධ්යක්ෂ (රසායන සංරක්ෂණ), ප්‍රාදේශීය සහකාර අධ්යක්ෂ (වයඹ), කලාප භාර පුරාවිද්‍යා නිලධාරිනිය ඇතුළු ප්‍රධාන කාර්යාලයේ සහ වයඹ පළාත් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
එමෙන් ම,මෙම නිරීක්ෂණය සඳහා නාරම්මල ප්‍රාදේශීය සභාවේ සභාපති හසිත රන්දික රත්නායක මහතා, දඹදෙණිය කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උදයභාග්ය ගුණවර්ධන මහතා ඇතුළු විහාරස්ථ දායක සභාවේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ. මෙම මූලික නිරීක්ෂණවලින් අනතුරුව, ඓතිහාසික දළදා මන්දිරයේ පුරාවිද්‍යාත්මක වටිනාකම ආරක්ෂා වන පරිදි ඉදිරි සංරක්ෂණ සැලසුම් ක්‍රියාත්මක කිරීමට නියමිත ය.










