උසස් පෙළ විභාගය සඳහා සිය නිවසට පැමිණ සූදානම් වෙමින් සිටි ඥාති තරුණියකට බරපතළ ලිංගික අපරාධයක් සිදු කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු හින්දු පූජකවරයෙකුට වවුනියාව මහාධිකරණය නියම කර තිබූ සිර දඬුවම් හා දඩ මුදල් අභියාචනාධිකරණය විසින් යළි තහවුරු කළේය.
මෙසේ 13 අවුරුදු සිර දඬුවමක් නියම කෙරුණේ හින්දු පූජකවරයෙකු වන නිත්‍යනන්දන් මෝහන්රාජ් නමැති පස් දරු පුද්ගලයෙකුටය.
තමන් මෙම දඬුවම්වලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අදාළ පූජකවරයා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ඉවත දමමින් අභියාචනාධිකරණය අද (23) මෙම තීන්දුව ලබා දුන්නේ ය.
අමල් රණරාජා සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාග කෙරිණි.
අධිකරණයේ දී අනාවරණය වූ කරුණු අනුව අතවරයට පත් වන විට 17 හැවිරිදි වියේ පසු වූ මෙම සිසුවිය 2011 වසරේ වවුනියාව ප්‍රදේශයේ පිහිටි මැණික් ෆාම් සරණාගත කඳවුරේ රැඳී සිට ඇති අතර, ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිට ඇත. ඒ අනුව ඇය සිය ඥාතියෙකු ද වන විත්තිකාර පූජකවරයාගේ මුලතීව්, උදයාර් කට්ටු ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් එහි රැඳී සිටිමින් අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිය දී මෙම බරපතළ ලිංගික අපයෝජනයට ගොදුරු වී ඇති බව ද නඩු විභාගයේදී අනාවරණය විය.
2011 වසරේ නොවැම්බර් මස 11 වන දා හෝ ඊට ආසන්න දිනයකදී එම සිසුවියට සිය නිවස තුළදී විත්තිකරු විසින් බරපතළ ලිංගික අපරාධයක් සිදු කළ බවත්, ඉන්පසුව එම ඇය අදාළ නිවසින් පලාගොස් ඇය රැඳී සිටි මැණික් ෆාම් සරණාගත කඳවුරට පැමිණ ඇති අධිකරණයේ දී අනාවරණය විය.
අදාළ සිද්ධියෙන් මාස කීපයකට පසු ඇය ගැබිනියක් බව අනාවරණය වී ඇති අතර ඒ පිළිබඳව සිදුකළ පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ විත්තිකරු තමාට ලිංගික අපරාධයක් කළ බව ඇය විසින් පොලිසිය ප්‍රකාශ කර ඇති නමුත් පොලිස් විමර්ශනවලදී ප්‍රකාශ ලබා දුන් විත්තිකරු මෙම ක්‍රියාව අදාළ සිසුවියගේ කැමැත්ත මත සිදුවූ බව ප්‍රකාශ කර තිබිණි.
විත්තිකාර පූජකයා චෝදනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු මෙම සිද්ධියට අදාළව ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවා තිබූ අතර, අතවරය හේතුවෙන් අදාළ සිසුවියගේ කුසේ සිටින දරුවාගේ පියා මෙම විත්තිකරු බව තහවුරු වී ඇත.
ඩී.එන්. ඒ වාර්තා තහවුරු වීමෙන් පසු අදාළ තරුණියට ලිංගික අපරාධයක් කළ බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව වවුනියාව මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කළ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු එම චෝදනාවලට වරදකරු කරමින් වවුනියාව මහාධිකරණය විසින් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසර 17ක සිර දඬුවමක්, රුපියල් 5000ක දඩයක් සහ අතවරයට පත් තරුණියට වන්දි වශයෙන් රුපියල් 300,000ක දඩයක් ගෙවන ලෙස නියෝග කළේය.
චූදිත පූජකයා ඉන් අනතුරුව එම දඬුවම්වලින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
විනිසුරු අමල් රණරාජාගේ එකඟත්වය ඇතිව මෙම අභියාචනය සම්බන්ධයෙන් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා විත්තිකරු දැරියගේ කැමැත්ත මත මෙම ක්‍රියාව සිදුකළ බවට ප්‍රකාශ කර තිබුණත් එය පිළිගත නොහැකි බව නඩු තීන්දුවේ සඳහන් කළේය.
මෙහිදී “කැමැත්ත” යන කරුණ පිළිබඳව විශ්ලේෂණයක් සිදුකළ රණරාජා විනිසුරුවරයා “කිසියම් බියක් හෝ කම්පනයක් මත යටත් වීමක් හෝ නිහඬව සිටීමක් කැමැත්ත වශයෙන් අර්ථකථනය කළ නොහැකි බවත්, විත්තිකරුගේ ආගමික අධිකාරිය, තර්ජන සහ යුද පසුබිම තුළ ඇති වූ බිය හමුවේ වින්දිතයා අසරණව සිටි බව පැහැදිලි යි,” යනුවෙන් සිය තීන්දුවේ සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට වින්දිත තරුණිය ප්‍රමාද වූ බවටත් විත්තිය තවත් චෝදනාවක් එල්ල කර තිබුණ ද එම කරුණ ද ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා, ලිංගික අතවරයකට ලක්වූ වින්දිතයෙකු සමාජ අපවාදයට හෝ ජීවිත තර්ජනවලට ඇති බිය නිසා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෙයක් බවත් එම ප්‍රමාදය සාධාරණීකරණය කළ හැකි බවත් කීවේය.
වින්දිතයාගේ සාක්ෂිය විශ්වසනීය නම් එම සාක්ෂිය තහවුරු කිරීමට සෑම අවස්ථාවක ම අතිරේක සාක්ෂි ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බව කී විනිසුරු රණරාජා. මෙහිදී තරුණිය ගැබ් ගැනීම DNA වාර්තාව මගින් ලිංගික සංසර්ගය හේතුවෙන් සිදු වූ බව ඍජුව ම තහවුරු වී තිබෙන බව ද සිය තීන්දුවේ සඳහන් කළේ ය.
ඒ අනුව විත්තිකරුගේ අභියාචනය ඉවත දමන බවත් විත්තිකරුට පෙර වැරදි නොමැති වීම සහ ඔහු පස් දරු පියෙකු වීම යන කාරණා සැලකිල්ලට ගෙන ඔහුට නියම කරන ලද වසර 17ක සිර දඬුවම වසර 13ක් දක්වා අඩු කරන බවත් එම සිර දඬුවම විත්තිකරු වරදකරු කළ දිනයේ සිට ක්‍රියාත්මක විය යුතු බවත් අභියාචනාධිකරණ සිය තීන්දුවේ සඳහන් කළේය.
















