පාර්ලිමේන්තුව තුළ සම්මත කරන සෑම නීතියක්ම සෑම ළමයෙකුගේම ජීවිතයට බලපාන බවත් ඒ නිසා දරුවන්ගේ අදහස් පාර්ලිමේන්තු නියෝජිතයින් සමඟ බෙදාගැනීම ඉතා වැදගත් බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
දරුවන්ගේ අදහස්වලට ඇහුම්කන් දීමට රජය නිරන්තරයෙන් සූදානම් බව කී අග්‍රාමාත්‍යවරිය වැඩිහිටියන් ලෙසත්, මහජන නියෝජිතයින් ලෙසත් දරුවන්ට සුදුසු සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් අපි සියලු දෙනා වගකීමෙන් කටයුතු කළ යුතු බව ද අවධාරණය කළාය.
ලෝක ළමා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතනය එක්ව “Little Amaya & Friends – ශ්‍රී ලංකාව වෙනුවෙන් අපේ පැතුම” යන තේමාවෙන් නොවැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුවේදී සංවිධානය කළ විශේෂ වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
















