වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා රාත්‍රී වැඩ කිරීමේ සීමාවන් ඉවත් කරයි

කාන්තාවන් රාත්‍රී කාලයේ සනීපාරක්ෂක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන සේවිකාවන් වශයෙන් සේවයේ ‍යෙදවීමට අවසර දෙමින් කම්කරු අමාත්‍යාංශය විසින් ජනවාරී 30 වැනි සිකුරාදා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කම්කරු අමාත්‍ය ආචාර්යය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් සාප්පු සහ කාර්යාලීය සේවකයින් පිළිබද පනතට සංශෝධනයක් සිදුකරමින් මෙම අවසරය ලබා දී ඇත.

මෙම අති විශේෂ ගැසට් පත්‍රය, සාප්පු සහ කාර්යාල සේවක (රැකියා සහ වේතන නියාමනය) පනත යටතේ පවතින රෙගුලාසි සංශෝධනය කරමින්, රාත්‍රී කාලය තුළ කාන්තා සේවිකාවන් සේවයේ යෙදවීමේ විෂය පථය පුළුල් කරයි.

මෙතෙක් අවුරුදු 18ට වැඩි කාන්තාවන් කාන්තා වැසිකිළි සේවිකාවන් වශයෙන් පස්වරු 6.00න් පසුව සේවයේ යෙදවිය හැකි බවට අදාළ පනත මගින් ප්‍රකාශයට පත් කර තිබුණි. එම පනත තවදුරටත් සංශෝධනය කරමින් කාන්තා සනීපාරක්ෂක සේවිකාවක් හෝ ආහාරපාන පිළිගන්වන සේවිකාවක් වශයෙන් අවුරුදු 18ට වැඩි කාන්තාවන් පස්වරු 6.00න් පසු පසුදා පෙරවරු 6.00ට පෙර සේවයේ යෙදවිය හැකි බව නව ගැසට් නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත්, ගැසට් පත්‍රය මගින් සේවායෝජකයින් මත පැහැදිලි වගකීම් පවරන අතර, මෙම විධිවිධාන යටතේ රාත්‍රී සේවයේ නියුතු කාන්තාවන්ගේ සෞඛ්‍ය සේවා, ආරක්ෂාව සහ සුභසාධනය සඳහා ඔවුන් සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව සඳහන් කරයි.

සේවායෝජකයින් විසින් සේවා මුරයක් අවසානයේ සිට උදෑසන 6.00 දක්වා සුදුසු නවාතැන් පහසුකම් සැපයීම සහතික කළ යුතුය, නැතහොත්, සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා වැඩ මුරය අවසන් වන විට සේවකයාගේ සුපුරුදු පදිංචි ස්ථානයට ආරක්ෂිත ප්‍රවාහනය සංවිධානය කළ යුතුය.

කාන්තා සේවිකාවන් සඳහා රාත්‍රී කාලයේ ආරක්ෂාව ඇතුළුව ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගත යුතු බව රෙගුලාසි තවදුරටත් අවධාරණය කරයි.

රාත්‍රී කාලයේ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ආරක්ෂක විධිවිධාන පවත්වා ගනිමින් කම්කරු රෙගුලාසි පරිණාමය වන කර්මාන්ත අවශ්‍යතා සමඟ පෙළගැස්වීම නව විධිවිධානවල අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website