
සිර දඬුවම් නියම කරන ලද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද (06) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණීම සමාජය තුළ මහත් අන්දෝලනයක් ඇති කළේය.
මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් සෙනක පල්ලෙතැන්න මහතා පැවසුවේ බන්ධනාගාර නීති රෙගුලාසි අනුව වසර තුනකට වැඩි සිරදඬුවම් නියම වූ ඕනෑම පුද්ගලයෙකු බන්ධනාගාරය මගින් නිකුත් කරන සිර ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි.
මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ බන්ධනාගාරගත වන සිරකරුවන්ගේ සිර ඇඳුම් සම්බන්ධයෙන් විවිධ මත පළවන බව නිරීක්ෂණය වී තිබෙන බවත් බන්ධනාගාර නීති රෙගුලාසි අනුව, ගරු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ගරු අධිකරණය මගින් සරල සිරදඬුවමක් නියම කර ඇත්නම්, අදාළ සිරදඬුවම් කාලය බන්ධනාගාරය තුළ ගෙවීමේදී තම චීවරයෙන් සිටිය හැකි බවත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරමින් බන්ධානගාර මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ ද පැවසුවේය, “සිරදඬුවම බරපතළ වැඩ සහිත නම්, ඕනෑම පුද්ගලයෙකු සිර ඇඳුමෙන් සිටිය යුතුයි. බන්ධනාගාරය මගින් ගරු අධිකරණයට සිරදඬුවම් ලත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේදී, ඔහුගේ සිරදඬුවම වසර තුනකට වඩා අඩු නම්, ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී දඬුවමට පෙර ඔහු ඇඳ සිටි සිවිල් තත්ත්වයේ ඇඳුම ඇඳීම සඳහා බන්ධනාගාර අධිකාරීවරයාට අවසර දිය හැකියි. එවැනි අවස්ථාවකදී ගරු භික්ෂූන් වහන්සේ නමකටද සිවුර ඇඳීමට අවසර ලබා දිය හැකි. නමුත් වසර තුනකට වැඩි සිරදඬුවම් නියම කර ඇති ඕනෑම තත්ත්වයේ ලා සැලකෙන පුද්ගලයෙකු ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරය මගින් නිකුත් කරන ලද ඇඳුමින් සැරසී ගරු අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි ඒ වගේම දිවයිනේ බන්ධනාගාරවල ආගමික උතුමන් 63 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිරදඬුවම් විඳිමින් සිටිනවා. එබඳු ආගමික උතුමන් සිර ඇඳුමෙන් බන්ධනාගාරය තුළ සිටින බව ද කාරුණිකව දන්වමි”.
ඥානසාර හිමියන් අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය මාරඹේ ද ඥානසාර හිමියන් ගිහි ඇදුමකින් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කළේය.
” ස්වාමීනී.. අද දින ඥානසාර හිමියන්ව බන්ධනාගාරය විසින් චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මා කම්පා වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බවට. ඒත් මෙය කනගාටුදායක තත්ත්වයක්” යනුවෙන් ඔහු සඳහන් කළේය.
ඡායාරූපය – බීබීසී සිංහල වෙබ් අඩවිය













