අය වැය කාල සීමාව තුළ පනත් කෙටුම්පත් ත්‍රිත්වයක දෙවැනිවර කියවීමේ විවාදයන් පැවැත්වීමට ඊයේ (20) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඒ අනුව, නොවැම්බර් 23 සඳුදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා විදේශීය ත්‍රස්තවාදී සටන්කරුවන් වැළැක්වීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.
තවද, දෙසැම්බර් 05 සෙනසුරාදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව, ප.ව 6.00 සිට ප.ව 9.00 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත විවාදයට ගැනීමටත් (දෙවැනිවර කියවීම) නියමිතව ඇත.
එසේම, දෙසැම්බර් 07 සඳුදා, පෙ.ව 11.00 සිට ප.ව 6.00 දක්වා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහ කම්කරු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමෙන් අනතුරුව ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාව සහ තෙවැනිවර කියවීම පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. (මෙම පනත් කෙටුම්පත 2026 ඔක්තෝබර් 23 දින දෙවැනිවර කියවීමේ විවාදය පවත්වා කල් තබා ඇත)
ඒ අනුව ඉහත දිනයන්හි සභාව කල් තබන අවස්ථාවේ යෝජනා විවාදයට නොගැනේ.














