විද්‍යුත් වාහනවල බැටරි භාවිතයේ ගැටලු ගැන ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ අවධානය

විද්‍යුත් වාහනවල බැටරි භාවිතයෙන් ඉවත් වූ පසු ඒවා බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා රට තුළ පැහැදිලි ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳව පසුගිය දා රැස් වූ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඒ එම කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (නොවැ. 18) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදීය. මේ සඳහා ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීහු සහභාගී වූහ.

විද්‍යුත් වාහන ආනයනය කරන අවස්ථාවේදීම ඒවායේ බැටරිවල ආයු කාලය අවසන් වූ පසු බැහැර කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් ආනයනකරුවන්ගෙන් හෝ නිෂ්පාදකයන්ගෙන් වගකීමක් තහවුරු කර ගැනීමේ අවශ්‍යතාව ද නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. එමෙන්ම විද්‍යුත් වාහන සහ ඒවායේ බැටරි සඳහා අවශ්‍ය ගුණාත්මක ප්‍රමිතීන් සහ රේගු බදු ගණනය කිරීමේදී භාවිත වන HS කේතයන් නිසි පරිදි හඳුන්වාදීමේ වැදගත්කම ද සාකච්ඡා කෙරිණි.

විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පවතින බදු ප්‍රතිපත්ති සරල කිරීම සහ සාමාන්‍ය ජනතාවට දැරිය හැකි මිලකට එම වාහන ලබාගැනීමට හැකි වන පරිදි බදු ප්‍රතිපත්ති සකස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය විය. විශේෂයෙන්ම විද්‍යුත් වාහන ආරෝපණය කිරීමේදී ජාතික විදුලිබල පද්ධතියට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා සූර්ය බලශක්තිය සහ විදුලි බල ගබඩා කිරීමේ බැටරි පද්ධති භාවිතය දිරිගැන්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website