සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගීමේ ජාත්‍යන්තර වැඩමුළුව පාර්ලිමේන්තුවේ දී

සියලු පුරවැසියන්ගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන් නියෝජනය වන, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ආයතන ගොඩනැගීමේ අරමුණින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සංවිධානය කළ ජාත්‍යන්තර වැඩමුළුව 2026 නොවැම්බර් 19 සහ 20 යන දෙදින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

‘සැමට සේවය කරන පාර්ලිමේන්තුවක් ගොඩනැගීම’ (Creating a Parliament that Works for All) යන තේමාව යටතේ පැවති මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, විදේශීය පාර්ලිමේන්තු නියෝජිතයන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ විශේෂඥයන්, විද්වතුන් සහ සංවර්ධන හවුල්කාර ආයතනවල නියෝජිතයෝ සහභාගී වූහ.

පාර්ලිමේන්තු කටයුතුවලදී කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට සක්‍රීයව සහභාගී වීමට ඇති බාධා හඳුනාගැනීම, ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීම සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය හා තීරණ ගැනීමේදී එම කණ්ඩායම්වල අදහස්වලට නිසි අවස්ථාවක් ලබාදීම සඳහා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ලොව පුරා පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය ක්‍රියාත්මක කරන ප්‍රමුඛ වැඩසටහනක් වන Inter Pares වැඩසටහන සමඟ එක්ව මෙම වැඩමුළුව සංවිධානය කෙරිණි. එය කාන්තාවන් සහ තරුණයන් ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගී කරවීමේ වැඩසටහන යටතේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහාය පිළිබඳ ආයතනය (International IDEA) විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

වැඩමුළුවේ සමාරම්භක උත්සවය නොවැම්බර් 19 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, පාර්ලිමේන්තුවේ මහලේකම් සහ එම සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ලීනා රික්කිලා ටමාං යන මහත්ම මහත්මීන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ සහ විදේශීය නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ කථානායකවරයා, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට කාන්තාවන්, තරුණයන්, ආබාධ සහිත පුද්ගලයන් සහ ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන අනෙකුත් ප්‍රජාවන් සක්‍රීයව සහ අර්ථවත් ලෙස සහභාගී කරවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම වැදගත් වැඩසටහන සංවිධානය කිරීම සඳහා දායකත්වය ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, යුරෝපා සංගමය, Inter Pares, International IDEA සහ අනෙකුත් හවුල්කාර ආයතන වෙත සිය ස්තූතිය පළ කරන බවද කථානායකවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් සුරැකුම් ආර්ථිකය හඳුනාගෙන එය ශක්තිමත් කිරීම, ජාතික කාන්තා කොමිෂන් සභාව පිහිටුවීම සහ ආපදා වලින් පීඩාවට පත් ප්‍රජාවන්ට සහාය වීම ඇතුළු ක්ෂේත්‍ර වල ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් ද කථානායකවරයාගේ ඇගයීමට ලක් විය.

කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍යවරිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අදහස් දක්වමින්, විශේෂයෙන් කාන්තාවන්, දරුවන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු සියලු පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළාය. පාර්ලිමේන්තු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ සියලු දෙනාට සමාන හා සාධාරණ සහභාගීත්වයක් ලබාදීම තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද ඇය පෙන්වා දුන්නාය.

සමාරම්භක සැසිය ඇමතූ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීමත්, දැනුම සහ අත්දැකීම් හුවමාරු කරගැනීමත් ඉතා වැදගත් බව සඳහන් කළේය. මෙම වැඩමුළුව සංවිධානය කිරීමට දායක වූ සියලු පාර්ශ්වයන් සහ හවුල්කාර ආයතන වෙත ද ඔහු සිය ස්තූතිය පළ කළේය.

මේ අවස්ථාවට එක්වූ සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය, සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අත්දැකීම් ලබාගැනීම, දැනුම හුවමාරු කරගැනීම සහ අත්දැකීම් බෙදාගැනීමේ වැදගත්කම අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත මණ්ඩලයේ තානාපතිනි සිල්වියා හාට්ලයිෆ් මහත්මිය සහ International IDEA ආයතනයේ ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ලීනා රික්කිලා ටමාං මහත්මිය ද සිය අදහස් පළ කරමින්, සියලු දෙනා නියෝජනය වන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන බව අවධාරණය කළහ.

පාර්ලිමේන්තුවල ධාරිතාව ශක්තිමත් කිරීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වලට දේශපාලන තීරණ ගැනීමේ ක්‍රියාවලියට අර්ථවත් ලෙස සහභාගී වීමට අවස්ථා සැලසීමේ වැදගත්කම ද ඔවුහු පෙන්වා දුන්හ. මේ සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව සහ අත්දැකීම් හුවමාරු කරගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.

කාන්තාවන්ගේ අදහස්, අත්දැකීම් සහ දෘෂ්ටිකෝණ පාර්ලිමේන්තු කටයුතු, දේශපාලන න්‍යාය පත්‍ර සහ ජාතික මට්ටමේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ නිසි ලෙස නියෝජනය වීම සහතික කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අවධානයට ලක් වූ කරුණක් විය.

විශේෂයෙන් ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට අයත් කාන්තාවන් සහ ආබාධ සහිත කාන්තාවන් ඇතුළු ප්‍රමාණවත් නියෝජනයක් නොලැබෙන කණ්ඩායම්වල කාන්තාවන් මුහුණ දෙන බාධා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සැලකිල්ලට ගනිමින් අයවැය සකස් කිරීමේ ප්‍රායෝගික ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජාතික අයවැය සහ රාජ්‍ය ප්‍රතිපත්ති තුළින් කාන්තාවන්ගේ සහ පුරුෂයන්ගේ වෙනස් අවශ්‍යතා, ප්‍රමුඛතා සහ අත්දැකීම් වඩාත් හොඳින් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.

සමානාත්මතාව සහ සමාජීය අන්තර්ග්‍රහණය තහවුරු කිරීම සඳහා රාජ්‍ය සම්පත් සහ ප්‍රතිපත්තිමය තීරණ නිසි ලෙස යොදාගැනීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පැවරෙන වැදගත් වගකීම ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම සැසි සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජිතයෝ ද සහභාගී වී සිය අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කළහ.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යුරෝපා සංගමය ඇතුළු වෙනත් රටවල පාර්ලිමේන්තු නියෝජිතයන් සහ විශේෂඥයන් සමඟ අත්දැකීම් හා ක්‍රියාමාර්ග හුවමාරු කරගැනීමට ද මෙම වැඩමුළුවෙන් අවස්ථාව සැලසිණි.

මෙම වැඩමුළුව සඳහා අයර්ලන්ත පාර්ලිමේන්තුවේ (Seanad Éireann) සෙනෙට් සභික සහ අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි ඇලිසන් කොමින්, ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ හිටපු සභාපතිනි ඇලිසන් ජොන්ස්ටන්, මැලේසියාවේ සෙනෙට් සභික ආචාර්ය ජුෆිත්‍රි බින් ජෝහා, සිඩ්නි තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රමෝනා විජේරසා යන මහත්ම මහත්මීන් ඇතුළු අයර්ලන්තයේ සහ ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු පර්යේෂකයෝ සහ අයවැය විශේෂඥයෝ ද මෙම වැඩමුළුවට දායක වූහ.

මෙරට කාන්තා නගරාධිපතිනියන්, නියෝජ්‍ය නගරාධිපතිනියන්, සමාජ ක්‍රියාකාරිනියන් සහ සිවිල් සමාජ සංවිධානවල නියෝජිතවරියන්ට ද මෙම වැඩමුළුව සඳහා ආරාධනා කර තිබූ අතර, ඔවුහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවති දෙදින වැඩසටහනට සක්‍රීයව සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website