CCTV දර්ශන 100ක් කර සිදු කළ විමර්ශනයකින් පසු මාරක රිය අනතුරක් සිදුකර පලාගිය මෝටර් රථය සහ සැකකරු අත්අඩංගුවට

නාවල – නුගේගොඩ මාර්ගයේදී 80 හැවිරිදි පදිකයෙකු අනතුරට ලක් කර පලා ගිය බවට සැක කෙරෙන කළු පැහැති ‘ඇක්වා’ වර්ගයේ මෝටර් රථය සහ එහි සැකකාර රියදුරු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුර සිදු වූ ස්ථානයේ සිට හොරණ ප්‍රදේශය දක්වා ස්ථාන රැසක CCTV දර්ශන 100කට අධික ප්‍රමාණයක් විශ්ලේෂණය කරමින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

පසුගිය 2026.11.10 වන දින අලුයම නාවල – නුගේගොඩ මාර්ගයේ වැලි පාර්ක් හංදිය අසල ඇති පදික මාරුව මතින් ගමන් කරමින් සිටි පදිකයෙකු මෙලෙස රිය අනතුරකට ලක් කර පලා ගොස් ඇත. අනතුරෙන් බරපතළ තුවාල ලැබූ 80 හැවිරිදි පදිකයා කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇත.

අනතුරෙන් පසු නොනවත්වා පලා ගිය මෝටර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශන සිදු කළ අතර 2026.11.14 දින හොරණ මුණගම නිවසක නවතා තිබියදී අනතුර සිදු කළ කළු පැහැති ‘ඇක්වා’ මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

තවදුරටත් නිවසේ හිමිකරුගෙන් සිදු කරන ලද විමර්ශනවලදී රිය අනතුර සිදු කරන ලද සැකකරු හොරණ, රෝයල් ගාර්ඩන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සිදු කළ පරීක්ෂණවලදී ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති අතර, අනතුරුව සැකකරු 2026.11.15 වන දින ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු 2026.11.27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මිරිහාන මූලස්ථාන පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website