මූලික පුහුණුව සාර්ථකව හදාරා නිමකළ STF 83 වන ආධුනික නිලධාරීන් කණ්ඩායම සාඩම්රබව විසිර යයි

දකුණු ආසියාවේ විශිෂ්ඨතම අතුරු හමුදාව ලෙසින් හදුන්වන ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කාර්ය බලකාය පිරිස් බලයෙන් ශක්තිමත් වූ තවත් දිනයක් ලෙස 2026.11.20 වන දිනය ඉතිහාසයට එක්විය.

කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ මූලික පුහුණුව හැදෑරූ 83 වන ආධුනික නිලධාරීන් කණ්ඩායම එදින සවස එම පාසලේ උත්කර්ෂවත් ලෙස පැවැත්වුනු විසිරයාමේ උළෙලින් අනතුරුව දිවයින පුරා ස්ථාපිත කර තිබෙන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු වෙත අනුයුක්ත කෙරුණි.

උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකුගෙන් සහ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 217 දෙනෙකුගෙන් විසිර ගිය 83 වන කණ්ඩායම සමන්විත විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා‌ වූයේ ගරු මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා යි. සෙසු ආරාධිත අමුත්තන් ලෙස එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, පොලිස් විශේෂ කාර්ය බලකායේ නව අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා, විශේෂ කාර්ය බලකායේ අධ්‍යක්ෂ (පුහුණු) හා කළුතර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලින්ද විජේසුන්දර මහතා උත්සවයට සහභාගී වූ අතර අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ ජවය සහ ගාම්භීරත්ව අභිමානවත් ලෙස විදහා පෑ නවක නිලධාරීනගේ විශිෂ්ඨ ප්‍රභූ සම්මාන පෙළපාලියකින් විසිර යාමේ උළෙල වර්ණවත් විය.

අනතුරුව පුහුණු කාලය තුල සුවිශේෂී ලෙස කැපී පෙනුනු නිලධාරීන් අමාත්‍යතුමා ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ ඇගයීමට ලක් කෙරුණි.

*අති දක්ෂතම ආධුනික වෙඩික්කරු – ආධුනික පොලිස් කොස්තාපල් 108264 ආර්. එම්. එදිරිසිංහ.

* විශිෂ්ටතම ආධුනික පොලිස් කොස්තාපල් – 108205 ඩී. සී. සී. ඩී. වනසිංහ.

* අති දක්ෂතම ඛණ්ඩය – 03 වන ඛණ්ඩය

සම්මාන පිරිනැමීමෙන් පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ හැකියාවන් සහ ඔවුන් සතු කණ්ඩායම් සංග්‍රාමික භූමියේදී ක්‍රියාත්මක ආකාරය විචිත්‍රවත් සංදර්ශන කිහිපයකින් පැමිණ සිටි පිරිසට ඉදිරිපත්කිරීමට කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසල කටයුතු කර තිබුනි.

විශේෂ කාර්ය බලකායේ අවි හා උපක්‍රම කණ්ඩායම මගින් ඉදිරිපත් කළ “ඇබ්සිලීන්” සහ “රැෆලින්” විශේෂිත ප්‍රාණ ඇපකරු මුදාගැනීමේ සංදර්ශනයේදී ගුවන් යානයකින් පහළට බැසීම, උස් ගොඩනැගිලිවල සිරවී සිටින තුවාලකරුවන් නිරුපද්‍රිතව බිමට ගැනීම, ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ යුධ, ගුවන් හා නාවික ක්‍රියාන්විත රාජකාරිවලදී භාවිත කරන පුහුණු ක්‍රම එහිදී විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website