වනජීවී දෙපාර්තමේන්තුවට පශු වෛද්‍යවරු ආකර්ෂණය කර ගන්න පරිසර ඇමතිගෙන් නව සැලසුමක්

වනජීවී පශු වෛද්‍යවරුන්ට විශේෂ දීමනාවක් ලබාදීමට පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පරිසර අමාත්‍ය ධම්මික පැටබැඳි මහතා පැවසුවේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් 35කට ආසන්න පිරිසක් සිටිය යුතු වුවත්, අද වන විට මුළු දිවයිනම ආවරණය කරන්නේ පශු වෛද්‍යවරුන් 17 දෙනෙකු පමණක් බවයි.

දිවා රෑ නොබලා, අවම පහසුකම් මැද, තම ජීවිත පවා අවදානමට ලක් කරමින් වන අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ ජීවිත බේරා ගැනීමට ඔවුන් කරන කැපවීම අතිමහත් බව කී අමාත්‍යවරයා ඔවුන්ගේ සේවයට සාපේක්ෂව ලැබෙන වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවීම නිසා නව පශු වෛද්‍යවරුන් වනජීවී සේවයට ආකර්ෂණය කර ගැනීම අද විශාල අභියෝගයක් වී තිබෙන බව ද කීවේය.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් වනජීවී පශු වෛද්‍යවරුන් සඳහා විශේෂ දීමනාවක් ලබා දීමට පරිසර අමාත්‍යවරයාගේ සහ පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙන බව ද අමාත්‍යවරයා පැවසුවේය.

Search this website