ළමයා සම්බන්ධ වාර්තාකරණයේ දී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ‘ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්’ හඳුන්වා දෙයි

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතීවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය

ළමයා සම්බන්ධ වාර්තාකරණයේ දී ළමා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වාදීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) නීතීවේදී සමාජ විද්‍යාඥ ශානිකා මලල්ගොඩ මහත්මිය සඳහන් කළාය.

ළමුන්ට සිදුවන විවිධ අපයෝජන අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව ද ඇය පැවසුවාය.

අදාළ මාර්ගෝපදේශ සංග්‍රහය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අතර එහි දී අදහස් දැක්වු ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ වාර්ෂිකව ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි දස දහසකට වැඩි සංඛ්‍යාවක් ලැබෙමින් පවතින බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ශානිකා මලල්ගොඩ මහත්මිය මෙසේ ද පැවසුවයා, “මෙම වාර්තාව සකස් කිරීමේ දී අපි  විශේෂයෙන්ම ප්‍රධාන කාරණා හතරක් මූලික කර ගත්තා. ඒ අනුව පොදු සාදාචාරාත්මක මූලධර්ම, අපරාධ සහ අපචාර වාර්තාකරණය, ළමා සියදිවි නසා ගැනීම් සහ ළමුන් විවිධ වැඩසටහන් සඳහා යොදා ගැනීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහය සම්පාදනය කිරීමේ දී මූලික කරගෙන තිබෙනවා.

විශේෂයෙන්ම මෙවැනි මාර්ගෝපදේශයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට හේතු වුණ කාරණා ගණනාවක් තිබෙනවා. එකක් තමයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වර්ෂයකට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ අතර අපි දකිනවා, ලිංගික අපයෝජනයට පත්වීම, කෘෘරත්වය ලක් කිරීම කියන කාරණාවලට අමතරව තවත් අලුත් කාරණා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අතර සයිබර් අවකාශය තුළ ළමයින් අනාරක්ෂිතභාවයට පත්වීම, යොවුන් ගැබ් ගැනීම්, විවිධ මත්ද්‍රව්‍ය භාවිතය තුළ ළමයින් අනාරක්ෂිතභාවයට පත්වීම ඉහළ යමින් තිබෙනවා.

එපමණක් නොවෙයි අද බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මෙහි දී අපේ නොදැනුවත්භාවය තුළ යම් යම් වැරදි සිදුවෙනවා. මෙය අවසානයේ ළමයින්ගේ ආරක්ෂණයට බලපානවා.

මේ පසුබිම තුළ අප අවබෝධ කරගෙන තිබෙනවා ළමුන් ආරක්ෂා කර ගැනීමේ දී මේ මාර්ගෝපදේශ වැදගත් කාර්යභාරයක් ඉටුකරයි කියලා.  මේ මාර්ගෝපදේශ සංග්‍රහයට කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සම්පාදනය වෙමින් තිබෙනවා. මෙම මාර්ගෝපදේශ සංග්‍රහය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වෙබ් අඩවියේ පළ කරලා තිබෙනවා.”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website