පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර රාවල්පිණ්ඩිහිදී ඊයේ (09 දා) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වන විට තරගයේ වැඩි වාසිය අත්කර ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම සමත් විය. දිනයේ පළමු සැසියේදී වේගවත් ලකුණු රැස් කිරීමක නිරත වූ පාකිස්තාන පිතිකරුවන්ට ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් එල්ල වූ අභියෝගය හමුවේ එම වේගය පවත්වා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත්, දිනය අවසන් වන විට කඩුලු 5ක් දැවී ලකුණු 281ක් රැස් කිරීමට පාකිස්තානුවෝ සමත්ව සිටියහ.
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය. තණතීරුවේ පැවැති කොළ පැහැය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට ආරම්භයේදීම වාසි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගත්ත ද, පාකිස්තාන ආරම්භක පිතිකරුවෝ ඊට සාර්ථක පිළිතුරක් ලබා දුන්හ.
පාකිස්තානය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් ටයියාබ් අරීෆ් ආරම්භයේ සිටම ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. ඔහු සහ අසාන් අවයිස් පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ වේගවත් සබඳතාව හේතුවෙන් පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් හිමි විය. පන්දු 51කට පමණක් මුහුණ දුන් අරීෆ් හතරේ පහර සහ හයේ පහරවලින් සිය ඉනිම වර්ණවත් කරමින් ලකුණු 57ක් රැස් කළේය.
පළමු සැසියේදී හතරේ පහර 16ක් වාර්තා කිරීමට පාකිස්තාන පිතිකරුවන් සමත් වූ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු කඩුල්ල දවා ගැනීමට මිලාන් රත්නායක සමත් වූයේ අසාන් අවයිස් පිටියෙන් ඉවත් කරමිනි. ඉන් අනතුරුව අසිත ප්‍රනාන්දු විසින් ටයියාබ් අරීෆ් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවට තරගයට අවතීර්ණ වීමට අවස්ථාව උදා විය.
කෙසේ වෙතත්, එම කඩුලු දෙකෙන් අනතුරුව පාකිස්තාන පිතිකරුවෝ යළිත් ඉනිම ගොඩනැඟීමට සමත් වූහ. නායක බාබර් අසාම් සහ මොහොමඩ් තහා අතර ගොඩනැඟුණු සබඳතාව පාකිස්තාන ඉනිමට ස්ථාවරත්වයක් එක් කළේය.
දිවා විවේකයෙන් අනතුරුව පිටියට පිවිසි බාබර් අසාම් වේගයෙන් ලකුණු රැස් කළ අතර, ඩිල්ෂාන් මධුශංකගේ පන්දු හමුවේ පිටියේ හතරේ සීමාව සොයා යමින් සිය අර්ධ ශතකය ද සම්පූර්ණ කළේය. එහෙත් එම සතුට වැඩි වේලාවක් පවත්වා ගැනීමට ඔහුට හැකි වූයේ නැත. මධුශංකගේ නිවැරදි පන්දු යැවීම හමුවේ පිත්තේ පිටත දාරයේ වැදී ගිය පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් අතට පත් වීමෙන් බාබර් අසාම්ගේ ඉනිම අවසන් විය.
ඉන් අනතුරුව පාකිස්තාන ඉනිම ආරක්ෂා කර ගැනීමේ වගකීම කරට ගත් සෞද් ශකීල් සහ මොහොමඩ් තහා දිනයේ දෙවැනි සැසිය පුරාම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන්හ.
තේ පානයෙන් පසු යළිත් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ කෙටි කාලයක් තුළ තවත් කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූහ. සිය අර්ධ ශතකය සම්පූර්ණ කර සිටි මොහොමඩ් සහා, සොනාල් දිනූෂගේ පන්දුවකට ඉහළින් පහරක් එල්ල කිරීමට යාමේදී ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. අනතුරුව අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ සල්මන් අඝා ද පිත්තේ දාරයේ වැදී ගිය උඩ පන්දුවක් කුසල් මෙන්ඩිස් රැක ගැනීමෙන් දැවී ගියේය.
ඒ අනුව යළිත් පාකිස්තාන ඉනිමට පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත්, සෞද් ශඛීල් නොසැලී පිතිකරණයේ නිරත වෙමින් තවත් කඩුලු බිඳ වැටීම වළක්වා ගත්තේය. විදුලි ආලෝකය මධ්‍යයේ දිනය අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි ඔහු නොදැවී ලකුණු 57ක් ලබා සිටියේය.
ඒ අනුව පළමු දිනයේ තරගය නතර කරන විට පාකිස්තානය පළමු ඉනිමේ කඩුලු 5ක් දැවී ලකුණු 281ක් ලබා සිටියේය. දෙවැනි දිනයේදී සෞද් ශඛීල් සමඟ ඉතිරි පිතිකරුවන් එක්වන ආකාරය තරගයේ ඉදිරි ගමන් මඟ තීරණය කිරීමේදී වැදගත් වනු ඇත.
පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 67.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 281 යි – අසාන් අවයිස් 30, ටයියාබ් අරීෆ් 57, මොහොමඩ් තහා 51, බාබර් අසාම් 50, සෞද් ශඛීල් 57*, සල්මන් අඝා 16, ගාසී ඝෝරී 07*, අසිත ප්‍රනාන්දු 64/2, ඩිල්ෂාන් මදුශංක 87/1, මිලාන් රත්නායක 43/1, සොනාල් දිනූෂ 10/1)
source:srilankacricket.lk
















