එළැඹෙන නොවැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ඕමානයේ මස්කට් නුවරදී පැවැත්වීමට නියමිත ආසියානු ක්රිකට් සම්මේලන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා වන 15 දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. එහිදී කණ්ඩායමේ නායකත්වය මාතර ශාන්ත සර්වේෂස් විදුහලේ විරාන් චමුදිතට හිමිව ඇති අතර උපනායකයා ලෙස මරදාන ශාන්ත ජෝසප් විදුහලේ සෙනුජ වෙකුණගොඩ පත් කර ඇත.
කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේදී ශ්රී ලංකාව ‘බී’ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය සහ මැලේසියාව ඇතුළත් වෙයි. ඉන්දියාව ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්යය සහ නේපාලය ඇතුළත්ය.
පාසල් ක්රිකට් පිටියේ දක්ෂතා දැක්වූ ක්රීඩකයන්ගෙන් සමන්විත මෙම සංචිතයට කොළඹ, මහනුවර, මාතර, රත්ගම සහ හික්කඩුව යන ප්රදේශ නියෝජනය කරන පාසල් ක්රීඩකයෝ ඇතුළත්ව සිටිති. ඒ අනුව කොළඹ රාජකීය, ආනන්ද, මහානාම, වෙස්ලි, මරදාන ශාන්ත ජෝසප් සහ ගල්කිස්ස ශාන්ත තෝමස් යන විදුහල්වල ක්රීඩකයන් කිහිපදෙනකුම සංචිතයට එක්ව සිටීම කැපී පෙනේ.
තරගාවලියේ මූලික වටයේදී එක් එක් කාණ්ඩයේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර එම තරග නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතය. අවසන් මහා තරගය නොවැම්බර් 14 වැනිදා පැවැත්වේ.
ශ්රී ලංකා යොවුන් කණ්ඩායමේ පළමු තරගය මැලේසියානු අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග නොවැමබ්ර් මස 05 වැනිදාද දෙවැනි තරගය නොවැම්බර් මස 07 වැනිදා බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවද පැවැත්වෙනු ඇත. මූලික වටයේ අවසන් තරගය ඇෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව නොවැම්බර් 09 වැනිදා පැවැත්වෙනු ඇත.
| ක්රීඩකයා | පාසල | |
| විරාන් චමුදිත (නායක) | ශාන්ත සර්වේෂස් විදුහල – මාතර | |
| සෙනුජ වෙකුණගොඩ (උප නායක) | ශාන්ත ජෝෂප් විදුහල – මරදාන | |
| රෙහාන් පීරිස් | රාජකීය විදුහල – කොළඹ | |
| කිත්ම විදානපතිරණ | ආනන්ද විදුහල – කොළඹ | |
| ගිම්හාන් රසාංජන | දේවපතිරාජ විදුහල – රත්ගම | |
| සනුල් වීරරත්න | මහානාම විදුහල – කොළඹ | |
| චනිරු සේනාරත්න | ත්රිත්ව විදුහල – මහනුවර | |
| ලිත්ම පෙරේරා | වෙස්ලි විදුහල – කොළඹ | |
| විග්නේෂ්වරන් ආකාෂ් | ශාන්ත ජෝෂප් විදුහල – මරදාන | |
| සෙත්මික සෙනෙවිරත්න | ත්රිත්ව විදුහල – මහනුවර | |
| ගිම්හාන් මෙන්ඩිස් | ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස | |
| ලතේන්ද්ර ආකාශ් | ශ්රී සුමංගල විදුහල – හික්කඩුව | |
| හිමරු දේශාන් | රාජකීය විදුහල – කොළඹ | |
| ස්ටෙවෝන් පීරිස් | ශාන්ත තෝමස් විදුහල – ගල්කිස්ස | |
| කෞෂික කුමාරසිංහ | ශාන්ත අන්තෝනි විදුහල – කටුගස්තොට |
තරග කාලසටහන
නොවැම්බර් 05 – ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ සහ මැලේසියානු අවුරුදු 19 න් පහළ අතර අල් අමේරාට්හිදී
නොවැම්බර් 07 – ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ සහ බංග්ලාදේශ අවුරුදු 19 න් පහළ අතර අල් අමේරාට්හිදී
නොවැම්බර් 09 – ශ්රී ලංකා අවුරුදු 19 න් පහළ සහ ඇෆ්ගනිස්තාන අවුරුදු 29 න් පහළ අතර තරග අල්මේරාට්හිදී
















