දරුවන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් රජයේ ප්‍රතිපත්ති ප්රකාශනය සමඟ මනාව ගැළපෙන බවත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් බවත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළාය. එමෙන්ම දරුවන්ගේ අදහස්වලට සවන්දීම එක් අවස්ථාවකට සීමා නොවිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය අවකාශය ලබා දීම වැඩිහිටියන්ගේ සහ මහජන නියෝජිතයන්ගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ලෝක ළමා දිනයට සමගාමීව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) 80 වැනි සංවත්සරය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ දී පසුගිදා (නොවැ. 20) පැවැති “Little Amaya & Friends; A Wish for Sri Lanka” වැඩසටහනට සහභාගී වෙමිනි.
දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් ඔස්සේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණි.
ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ දරුවන්ගේ හඬට පාර්ලිමේන්තුව තුළ අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ළමුන් සඳහා පාර්ලිමේන්තු සංසදයක් පිහිටුවීමට යෝජනා වී ඇති බවත්, දසවැනි පාර්ලිමේන්තුව තුළ පක්ෂ භේදයකින් තොරව එය කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අවධාරණය කළේය. එමෙන්ම, දශක අටක් පුරා මෙරට දරුවන්ගේ සෞඛ්‍ය, පෝෂණය, අධ්‍යාපනය සහ ආරක්ෂාව වෙනුවෙන් UNICEF සංවිධානය ඉටු කළ මෙහෙවර ද කථානායකවරයා අගය කළේය.
දරුවන්ගේ අදහස් හා අවශ්‍යතා ජාතික ප්‍රතිපත්ති, නීති සම්පාදනය සහ අයවැය තීරණ ගැනීමේදී ද සැලකිල්ලට ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු ගරු අමාත්‍ය සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
ළමා, කාන්තා හා තරුණ අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට ඇතුළත් කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එකඟතාවකට පැමිණීමේ වැදගත්කම විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, දරුවන්ගේ සහ මව්වරුන්ගේ මන්දපෝෂණ ගැටලු විසඳීම සඳහා විධිමත් රාජ්‍ය ප්‍රතිපත්තියක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් සහභාගී වූ ළමා නියෝජිතයන් 55 දෙනෙකුගේ අදහස් හා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තුළින් දරුවන්ගේ හඬ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට එක්කර ගැනීමේ වැදගත්කම තහවුරු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. ළමයින් වෙනුවෙන් පාර්ලිමේන්තු ළමා සංසන්දය සක්‍රීය කිරීමේ අවශ්‍යතාව ද ඇය අවධාරණය කළාය.
දරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය නොතිබුණ ද පාර්ලිමේන්තුවේ නීති සහ අයවැය තීරණ ඔවුන්ගේ ජීවිතවලට සෘජුව බලපාන බැවින්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුම තම ප්‍රදේශයේ සියලුම දරුවන් වෙනුවෙන් පෙනී සිටීමේ වගකීමක් ඇති බව UNICEF ශ්‍රී ලංකා ආයතනයේ වැඩබලන නියෝජිත බෙගෝනා අරෙලානෝ (Begona Arellano) මහත්මිය සඳහන් කළාය. ශ්‍රී ලංකාව සමඟ වසර 80 ක් පුරා පැවති සහයෝගීතාව ඉදිරියටත් පාර්ලිමේන්තුව සමඟ ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.
මෙහිදී, 2036 වසර වන විට ශ්‍රී ලංකාව කෙබඳු රටක් විය යුතුද සහ දරුවන්ට වඩාත් වැදගත් වන්නේ මොනවාද යන ප්‍රශ්න දෙක පදනම් කරගනිමින් දරුවන්ගේ අදහස් හා අභිලාෂයන් ඇතුළත් “A Wish for Sri Lanka” ප්‍රකාශ දරුවන් හත්දෙනකු විසින් ඉදිරිපත් කරන ලදී.
තවද, “නීති සම්පාදනය, අධීක්ෂණය, නියෝජනය සහ අයවැය කාර්යයන් තුළින් ළමා අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී පාර්ලිමේන්තුවේ කාර්යභාරය” යන තේමාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් වෙනුවෙන් UNICEF නිලධාරීන් විසින් විශේෂ සැසියක් ද මෙහෙයවන ලදී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන්, UNICEF සංවිධානයේ නිලධාරීන් සහ සිසු දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.















