අයි.සී.සී. කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (20 දා) සමත් විය. ඒ අනුව තරගාවලිය පුරා තමන් සතු අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අජ්මාන්හි සෙවන් ඩිස්ට්‍රික්ට්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ විනයගරුක පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 68ක් පමණි.
එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ කවීෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 3ක් බිඳ හෙළුවාය. නිමාෂා මීපගේ සහ සත්‍යා සන්දීපනී කඩුලු 2 බැගින් දවා ගනිමින් සිම්බාබ්වේ පිතිකරණය අඩපණ කිරීමට දායක වූහ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 11.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 69ක ඉලක්කය සපුරා ගත්තේය.
එහිදී ආරම්භක පිතිකාරිනියක ලෙස පිටියට පිවිසි විශ්මි ගුණරත්න පන්දු 35කදී හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස් කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය. ඇයට අනගි සහායක් ලබාදුන් හසිනි පෙරේරා ලකුණු 22ක් රැස් කළාය.
ඒ අනුව සුපිරි හය දෙනාගේ වටයත් ජයග්‍රහණයකින් ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමත් විය.
ලකුණු සාරාංශය
සිම්බාබ්වේ – සියලු දෙනා දැවී ලකුණු 68යි (පන්දුවාර 19.1යි) – කෙලිස් න්ඩ්ලොවු 19, කවීෂා දිල්හාරි 8/3, නිමාෂා මීපගේ 9/2, සත්‍යා සන්දීපනී 14/2.
ශ්‍රී ලංකාව – කඩුල්ලක් දැවී ලකුණු 69යි (පන්දුවාර 11.3යි) – විශ්මි ගුණරත්න නොදැවී 39, හසිනි පෙරේරා 22.
Source: srilanka cricket.lk
















