වසර 29කට පසු එකවර වැඩිම පරිසර නිලධාරීන් පිරිසක් මධ්‍යම පරිසර අධිකාරියට බඳවා ගනිමින්, නව නිලධාරීන් 281 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය අද (25) දින සිදුවිය.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා මෙසේ පැවසුවේය, “ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණය හා පාරිසරික කළමනාකරණය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් වැදගත් පියවරක් ඉදිරියට තැබීමට අද (25) අපට හැකි වුණා. ඒ අනුව, ලැබුණු අයදුම්පත් 14,000ක් අතරින් අනුමත බඳවා ගැනීමේ පටිපාටියට අනුව සුදුසුකම් මත තෝරාගත් නව පරිසර නිලධාරීන් 281 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම අද පරිසර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කළා.
මධ්‍යම පරිසර අධිකාරියට අවසන් වරට පරිසර නිලධාරීන් බඳවාගෙන තිබුණේ 2017 වසරේදීයි. එමෙන්ම මෙවැනි විශාල පරිසර නිලධාරීන් පිරිසක් එකවර බඳවාගෙන තිබුණේ 1997 වසරේදීයි. ඒ අනුව, වසර 29කට පසු මෙතරම් විශාල පරිසර නිලධාරීන් පිරිසක් එකවර බඳවා ගැනීම මෙහි විශේෂත්වයක්.
මෙම නව නිලධාරීන් මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රධාන කාර්යාලය, පළාත් කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙත අනුයුක්ත කර තිබෙනවා.
මෙම බඳවා ගැනීම හරහා, මධ්‍යම පරිසර අධිකාරියේ මානව සම්පත් ශක්තිමත් කිරීම, ක්ෂේත්‍ර රාජකාරි වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කිරීම, පරිසර නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සහ ජාතික පාරිසරික පනත සංශෝධනයත් සමඟ නව පරිසර නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සපුරාලීම අපේක්ෂා කරනවා.
පරිසරය සුරැකීම වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මෙන්ම, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතනික හා මානව සම්පත් ශක්තිමත් කිරීමත් අපේ ප්රමුඛ වගකීමක්. අද දින රාජ්‍ය සේවයට එක්වූ සියලුම නව පරිසර නිලධාරීන්ට මගේ උණුසුම් සුබපැතුම් එක් කරන අතර, රටේ පරිසරයත්, අනාගත පරපුරේ උරුමයත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අවංකව, වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරනවා”.















