ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔක්තෝබර් 23 වැනිදා ලබා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නාමල් රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරනවා ද – නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 14 වන දා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළේය.
නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන ප්රතිශෝධන පෙත්සම අද (25) කොළඹ මහාධිකරණ ඉදිරියේ සලකා බලන ලද අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා මේ බව නිවේදනය කළේය.
එහිදී පෙත්සම්කරු වෙනුවෙන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු ද වන ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මහාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ‘සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම’ ශ්‍රී ලංකාවේ නීතිය නොවන බවත් ඇප ලබා දීම රටේ නීතිය වන බවත්ය.
අධිකරණය හමුවේ වැඩි දුරටත් කරුණු දක්වමින් අලි සබ්රි මහතා මෙසේ ද පෙන්වා දුන්නේය, “දූෂණ විරෝධී පෙරමුණේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා. වත්මන් දූෂණ විරෝධී පනත කතානයකවරයා විසින් සහතික කළේ, 2023 වසරේ අගෝස්තු මස 08 වන දා. නමුත් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ, දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමට පෙර ය. නමුත් මගේ සේවාදායකයාට එරෙහිව දූෂණ විරෝධී පනතේ 149 (1) වගන්තිය යටතේ සහතිකයක් ඉදිරිපත් කිරීමට අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා. වත්මන් පනත ක්‍රියාත්මක වීමට පෙර ආරම්භ කළ විමර්ශනයක් සම්බන්ධයෙන් එවැනි සහතිකයක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ. මෙය සම්පූර්ණයෙන් ම බලය අවභාවිත කිරීමක්. පුද්ගල නිදහස අහිමි කිරීමක්. අධිකරණය කිසිදු අවස්ථාවක විධායකයේ දිගුවක් බවට පත්විය යුතු නෑ. ඒ අනුව මෙම අවස්ථාවේදී මගේ සේවාදායකයාට ඇප පනත අදාළ වෙනවා. සැකකරුවෙකු රිමාන්ඩ් කිරීම අපේ රටේ නීතිය නොවේ. ඇප දීම තමයි නීතිය. එම නිසා ඔබතුමාට මෙම අවස්ථාවේදී ඇප පනත යටතේ කටයුතු කිරීමට හැකියාව තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින මගේ සේවාදායකයාගේ ඇප ඉල්ලීමක් ඉකුත් ඔක්තෝබර් මස 23 වන දා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැනි යි. ඒ අනුව එම නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අරමුණින් තමා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ. ඒ අනුව පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොදීසි නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”











