අඩු ආදායම්ලාභී ලොතරැයිපත් අලෙවි සහායකවරුන්ගේ දරුවන් සඳහා 2026 වසරේ සිට ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක වැඩසටහන කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) අනුරාධපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, ලොතරැයිපත් අලෙවි සහායකවරුන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ.
උතුරු මැද පළාතේ ලොතරැයි අලෙවිකරණයේ යෙදෙන සහායකවරුන්ගේ දරුවන් 65 දෙනෙක් වෙනුවෙන් අද දින ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.
මෙහිදී අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ජනාධිපති අරමුදල වෙත අද ලැබෙන සෑම රුපියලකම ප්රතිලාභ එහි සහන ඇවැසි ජනතාවටම හිමි වන බවයි.
2026 වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා මාස 6ක කෙටි කාලය තුළ, 22,000ක් වන සංවර්ධන ලොතරයි අලෙවි නියෝජිත ජාලය විසින් ජනාධිපති අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 5,112ක අතිවිශාල මූල්‍ය දායකත්වයක් සපයා තිබෙන බව මෙහිදී සඳහන් කළ කථානායකවරයා මෙම අවස්ථාව මෙතෙක් තම ශක්තිය නොහඳුනාගෙන සිටි ලොතරැයි අලෙවිකරුවන් තම ශක්තිය රටට පෙන්වන අවස්ථාවක් බවත්, ඒ වෙනුවෙන් එම සියලුදෙනා වෙත ස්තූතිය පුද කරන බවත් පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතතා
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීමේදී වැඩිම පිරිසක් අයදුම්කර තිබුණේ මේ උතුරු මැද පළාතෙන්. එයින් තෝරාගත් 65 දෙනෙකුට අද ශිෂ්‍යත්ව ලබා දෙනවා. හබැයි මෙම වැඩසටහන ඇතුළු අනෙකුත් ශිෂ්‍යත්ව වැඩසටහන් උතුරු මැද පළාත තුළ ක්‍රියාත්මක වීම මෙතැනින් නතර නොවන බව කිවයුතුයි.
වසර 50ක ඉතිහාසයක් ඇති ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් වුණේ පසුගිය වසරේ සිටයි. අද එය ඩිජිටල්කරණය සමග ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමට විමධ්‍යගත වී තිබෙනවා. ජනාධිපති අරමුදල යනු තවදුරටත් කොළඹට සීමා වූ දුරස්ථ ආයතනයක් නොවන අතර, ජනතාවට ග්‍රාම නිලධාරීවරයා සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉතා පහසුවෙන් ළඟා විය හැකි සැබෑ ජනහිතකාමී සේවාවක් බවට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් බවට පත් කිරීමේ ජාතික මෙහෙවර තුළ සියලුදෙනා එකාවන්ව රැක බලා ගනිමින් එකට එක්ව කටයුතු කරමුයි සියලු දෙනාට ආරාධනා කරනවා.
නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා
අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළු දිස්ත්‍රික්ක බොහොමයක් ගත් විට එම ජනතාවගෙන් බොහෝ පිරිසක් ග්‍රාමීය පරිසරයක හැදුණු වැඩුණු අය. මේ අයගේ දූ දරුවන්ට ඉදිරියට යන්න තිබෙන ප්‍රධාන මාවත අධ්යාපනනයි. මෙම දරුවන්ට නවීන සහ අනාගත ලෝකයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සමග ඉදිරියට යාමට අවස්ථාව සලසා දිය යුතුයි කියන සිහිනය රජයක් ලෙස අපිට තිබෙනවා. විශේෂයෙන් ගම්වල දරුවන්ට ලෝකය ජයග්‍රහණය කිරීමට අත්වැලක් අවශ්‍යයි. අපි සියලු දෙනාම කුමන හෝ අත්වැලක් සමග තමයි ජීවිතය දිනාගෙන තිබෙන්නේ. ඒ නිසා අද මේ ශිෂ්‍යත්වය තුළින් දරුවන්ට අත්වැලක් සැපයෙන අතර ඉදිරියට යාමට මාවත විවර වී තිබෙනවා.
රජයක් ලෙස අපේ ප්රමුඛ අරමුණක් වන්නේ ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමයි. ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමට නම් එම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. ඒ නිසා මෙම වැඩපිළිවෙළ දරුවෝ සිය දහස් ගණනකට ඔවුන්ට උරුමකර දී තිබෙන පරිසරයෙන් එළියට පැමිණ ලෝකය ජයග්‍රහණය කිරීමට අවස්ථාවක් සලසා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. අපි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන්නේද දරුවන්ගේ අධ්‍යාපන කුසලතා සහ හැකියාවන් දියුණු කර, ඔවුන් ලෝකයට ගැළපෙන හොද වෘත්තිකයින් සහ ව්‍යවසායකයින් ලෙස බිහි කර ග්‍රාමීය දුප්පත්භාවය නැති කිරීමයි.
ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා
මේ වන විට ජනාධිපති අරමුදල රටේ ජනතාව වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කරමින් තිබෙනවා. ඒ නිසා දැන් ජනාධිපති අරමුදල ජනතාවගේම අරමුදලක්. මෙහි සෑම රුපියලක්ම වැය කරන්නේ ජනතාව වෙනුවෙන්. එවැනි නව වැඩසටහනක් තමයි අද දවසේ හඳුන්වා දෙන්නේ. මේ ජනාධිපති අරමුදලට මුදල් ලැබෙන්නේ ලොතරැයි අලෙවිකරන අයගෙන්. ඔවුන් නිතරම කියනවා ඔබත් දිනුම්, රටත් දිනුම් කියලා. නමුත් පසුගිය කාලය පුරා ලොතරැයි අලෙවිකරන අය දිනුවේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයා ප්රමුඛ පාලක මණ්ඩලය තීන්දු කළා ජනාධිපති අරමුදලින් ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ටත් අධ්‍යාපන ශිෂ්‍යත්වයක් ලබා දිය යුතුයි කියලා. මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට යන වැඩපිළිවෙළක්. මේ සඳහා වැඩිම අයදුම්පත් ප්‍රමාණයක් ලැබුණේ උතුරු මැද පළාතෙන් නිසා අපි පළමු වැඩසටහන අනුරාධපුරයට අරගෙන ආවා.












