ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත මෙතැනින් කොතැනට ද ?

  • විධායක ජනාධිපති ක්‍රමය හැරණු විට මෙරට දේශපාලනිකව වැඩියෙන් විවේචනයට ලක් වූ පනතක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සැලකිය හැකියි. මේ පනත මෙතරම් විවේචනයට ලක් වුණේ ඇයි ?

තම අතීත යුද්ධ සහ සන්නද්ධ ගැටුම්වල උරුමය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරන රටක් ලෙස ශ්‍රී ලංකාව තම පුරවැසියන්ට හානිකර ලෙස යළි යළිත් අනිසි ලෙස භාවිතා කර ඇති ඉතා පුළුල් හා භයානක නීති හකුළා ගත යුතුයි. මෙම නීතිවලින් වඩාත්ම සංකේතාත්මක වන්නේ වසර 45ක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ, විශේෂයෙන් සුළුතර ප්‍රජාවන්ගේ ජීවිතවලට මහත් විනාශයක් සිදු කළ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතයි.  (Prevention of Terrorism Act PTA) යි. එම තාවකාලික පනත වසර තුනකට පසුව 1982 වසරේ දී ස්ථිර නීතියක් ලෙසින් එවක පැවති රජය විසින් සම්මත කරගත්තා. එම පනත 1982 අංක 10 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත, 1988 අංක 22 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත සහ, 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්විමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත ලෙස සංශෝධනයට ලක් වුණා. මෙම නීතිය මඟින් සාමාන්‍ය නීතිය ඉක්මවා යමින් පොලිසියට සෝදිසි මෙහෙයුම් සිදු කිරීමට, අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට අදාළ විශේෂ බලතල පැවරුණා. මෙම කුරිරු නීතිය අවලංගු කිරීම සඳහා අනුප්‍රාප්තික රජයන් දේශීය හා ජාත්‍යන්තර පීඩනයට ලක්ව තිබෙනවා.

  • මෙතරම් දැඩි විවේචනයක් තිබුණත් ඇයි මේ පනත අහෝසි කරන්න නොහැකි වුණේ ?

එවැනි උත්සාහයන් ගණනාවක් පසුගිය කාලය තුළ සිදු වුණා. 2018 සැප්තැම්බර් මාසයේ දී යහපාලන රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ප්‍රති-ත්‍රස්ත පනතක් (Counter Terrorism Act – CTA) ගැසට් කරන ලද අතර, 2023 මාර්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රජය ත්‍රස්ත විරෝධී පනතක් (Anti-Terrorism Act – ATA) ගැසට් කර, පසුව එම වසරේම සැප්තැම්බර් මාසයේදී තවත් අනුවාදයක් (2023 සැප්තැම්බර් ත්‍රස්ත විරෝධී පනත) ගැසට් කළා. මෙම කෙටුම්පත් නීති, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට එල්ල කරන අවදානම් හේතුවෙන් පුළුල් ලෙස විවේචනයට ලක් වූ අතර, පාර්ලිමේන්තුව විසින් කිසි විටෙකත් සම්මත කළේ නැහැ.

  • වත්මන් ජාතික ජන බලවේගය රජය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පැහැදිලි පොරොන්දුවක් දුන්නා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට. ඒ අනුව වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා ද ?

ජාතික ජනබලවේගය දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්විමේ පනත අහෝසි කරන බවට සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වුණා. “ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු සියලු මර්දනකාරී අණ පනත් අහෝසි කර සියලු ජනතාවගේ නිදහස සහතික කිරීම,” යනුවෙන් පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ පනත අහෝසි කිරීම වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (Protection of the State from Terrorism Act – PSTA) කෙටුම්පත් කර 2025 දෙසැම්බර් මාසයේ දී අධිකරණ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළා. එහි සඳහන් වන ආකාරයට ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා. එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට  ශ්‍රී ලංකා රජයක් ගත් අලුත්ම උත්සාහය ලෙස සැලකිය හැකියි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?

ජාතික ජන බලවේගය රජය මෙම පනත යටතේ ‘ත්‍රස්තවාදය’ ලෙස සලකනු ලබන හැසිරීම් වලට එරෙහිව යොදා ගැනීම සඳහා පුළුල් විධායක බලතල රඳවා ගැනීම කෙරෙහි උනන්දුවක් දක්වන බව පෙන්නුම් කර තිබෙනවා. කණගාටුදායක කරුණ වන්නේ, ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය තුළ බහුලව දක්නට ලැබෙන පරිදි, මෙම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සමඟ එහි විධිවිධාන සාධාරණීකරණය කරන සන්දර්භය විදහා දක්වන කිසිදු පසුබිම් පත්‍රිකාවක් නොතිබීමයි.

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතෙහි විධිවිධාන පිළිබඳ කෙටි සමාලෝචනයකින් පෙන්නුම් කරන්නේ, මෙම යෝජනා ක්‍රමය පසුගිය රජයේ ත්‍රස්ත විරෝධී පනතට සමාන බවත්, ත්‍රස්තවාදය පිළිබඳ වරද පුළුල් ලෙස අර්ථ දැක්වීමට සහ ත්‍රස්තවාදයේ වැරදි සඳහා සමාන්තර පොලිස් බලතල පද්ධතියක් තිබීම යන ගැටලුව මූලික වශයෙන් ආමන්ත්‍රණය කිරීමට මෙම කෙටුම්පත් නීතිය අසමත් වන බවයි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතෙහි ප්‍රධාන ලක්ෂණ මොනවාද ?

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතෙහි  ප්‍රධාන ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඒ අතර වඩාත්ම අවධානයක් යොමුව පවතින ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම කෙරෙහි අපි අවධානය යොමු කළ යුතු බව මම විශ්වාස කරනවා.

ත්‍රස්තවාදය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම යන්නේ අදහස් වන්නේ, අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ සාමාන්‍ය ආරක්ෂණ ඉවත් කරන නීතියක්, එය යෙදිය හැකි වාතාවරණයන් සහ වැරදි පිළිබඳව ඉතාමත් නිරවද්‍ය විය යුතුයි. එසේ කරන්නේ එය අනිසි ලෙස භාවිතා කිරීමේ සහ අසාධාරණ ආකාරයෙන් භාවිතා කිරීමේ අවස්ථා අඩු කිරීම සඳහා යි. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම පැහැදිලි සහ ඉතාමත් නිරවද්‍ය විය යුත්තේ මේ නිසයි. ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතෙහි අර්ථ දැක්වීම එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශවලට පටහැනි බව පැහැදිලිව පෙනී යනවා. ත්‍රස්තවාදය නිර්වචනය කිරීමට ගන්නා උත්සාහයන් පහත සඳහන් සංරචක වලින් සමන්විත විය යුතු බව ප්‍රති-ත්‍රස්තවාදය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු නිර්දේශ කර තිබෙනවා. එසේම ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ජාත්‍යන්තර සම්මතයන්ට අවශ්‍ය පරිදි ත්‍රස්තවාදයේ වරද පටු ලෙස අර්ථ දැක්වීමට අසමත් වන අතර, ඒ වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් ‘උත්තේජනය (ප්‍රේරණය) කරන වැරදි’ සඳහා වන සීමාව සපුරා නොගන්නා ක්‍රියාමාර්ග ලැයිස්තුවක් ඇතුළත් කර තිබෙනවා.

සමුච්චිත චේතනාවේ අවශ්‍යතාවය සපුරාලීමට ද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත අසමත් බව පෙනී යනවා. එනම් (අ) මරණයට පත් කිරීමට, බරපතළ ශාරීරික තුවාල ඇති කිරීමට හෝ ප්‍රාණ ඇපකරුවන් ලෙස ගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද ක්‍රියාවන් පමණක් සහ (ආ) භීෂණ වාතාවරණයක් ඇති කිරීමට හෝ ජනගහනයක් බිය ගැන්වීමට හෝ රජයකට බල කිරීමට ඇති චේතනාව, වරදක් වීමට අවශ්‍ය කරන චේතනාව සඳහා වන ඉහළ සීමාව ලෙස සලකනවා.

ක්‍රියාවන් සිදු කිරීම සමඟ එකට බැඳුණු චේතනාවක් අවශ්‍ය නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන් නොව, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) ට (ප්‍රති-ත්‍රස්ත පනත (CTA) සහ ත්‍රස්ත විරෝධී පනතෙහි (ATA) අනුවාද දෙකම මෙන්) චේතනාවක් අවශ්‍යයි. ජාත්‍යන්තර නීතියට චේතනාවන් වර්ග දෙකක් අවශ්‍ය වුව ද, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) ට, 3(1) වගන්තියට අනුව, චේතනාවන් හතරෙන් එකක් පමණක් අවශ්‍ය වේ – එනම් (අ) භීෂණ වාතාවරණයක් ඇති කිරීම; (ආ) මහජනතාව හෝ මහජනතාවගෙන් ඕනෑම කොටසක් බිය ගැන්වීම; (ඇ) ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් ඕනෑම රජයකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් කිරීමට හෝ එය කිරීමෙන් වැළකී සිටීමට බල කිරීම; හෝ (ඈ) යුද්ධය ප්‍රචාරය කිරීම, හෝ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කිරීම හෝ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ඕනෑම ස්වෛරී රටක ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම යන මේවා යි. (ඇ) නමින් ඇති චේතනාව අතිශයින් පුළුල් වන අතර, පුරවැසියන් විසින් සිදු කරන පුළුල් පරාසයක නීත්‍යානුකූල ප්‍රජා සහ දේශපාලන ක්‍රියාමාර්ගවලට ආරෝපණය කළ හැකියි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) මඟින් නිශ්චිත ක්‍රියා 13ක් ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ දක්වා ඇති අතර, ඒවා අතර පොදු පරිහරණය සඳහා ඇති ඕනෑම ස්ථානයකට, ඕනෑම මහජන දේපළකට බරපතළ හානි සිදු කිරීම, පුද්ගලික දේපළක් සොරකම් කිරීම, සහ ආගමික හෝ සංස්කෘතික දේපළ විනාශ කිරීම හෝ බරපතල හානි සිදු කිරීම ඇතුළත් වෙනවා. (3(2) වගන්තිය). මේවායින් බොහොමයක් ජාත්‍යන්තර සම්මතයන් යටතේ ත්‍රස්තවාදී ක්‍රියා ලෙස නම් කිරීමට සුදුසුකම් නො ලබයි. පනතේ පළමු උපලේඛනයේ ශ්‍රී ලංකාව විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් 9 හි අර්ථ දක්වා ඇති පරිදි ඕනෑම ත්‍රස්තවාදී ක්‍රියාවකට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) යෙදිය හැකියි. සිත්ගන්නා සුළු කරුණ නම්, 2023 සැප්තැම්බර් ත්‍රස්ත විරෝධී පනතෙහි (ATA) හඳුනාගෙන තිබූ ක්‍රියාවන් වූ මිනීමැරුම් සහ දරුණු තුවාල සිදුකිරීමේ ක්‍රියාවන්, නීතියේ වඩා අඩු සීමාවන් වල පවතින ක්‍රියාවන් වන ‘පුද්ගලයෙකුගේ මරණයට’ සහ ‘තුවාල කිරීමට’ හේතු වන ක්‍රියාවන් මඟින් ප්‍රතිස්ථාපනය කර තිබීමයි. අත්‍යවශ්‍ය සේවාවන් අවහිර කිරීම සහ ඕනෑම ක්‍රියාවක් සිදු කිරීම සඳහා නීති විරෝධී සමූහයක සාමාජිකයෙකු වීම ත්‍රස්තවාදී ක්‍රියාවන් විය හැකි ක්‍රියා ලෙස 2023 සැප්තැම්බර් ත්‍රස්ත විරෝධී පනතෙන් (ATA) ඉවත් කර තිබෙනවා.

“ත්‍රස්තවාදයේ වරදක්” යන්නෙහි අර්ථ දැක්වීම සාදන 3(2) වගන්තියේ ලැයිස්තුගත කර ඇති ක්‍රියා/ප්‍රතිවිපාක, 3(1) වගන්තිය සමඟ කියවන විට, ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම පටහැනියි. මෙම ක්‍රියාවන් බොහොමයක් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වැරදි වන අතර, එම ක්‍රියාවන්ම ‘ත්‍රස්තවාදයේ වැරදි’ ලෙස යළි සකස් කිරීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අනිසි ලෙස භාවිතා කිරීමෙන් පෙන්නුම් කරන පරිදි, සාමාන්‍ය අපරාධ ක්‍රියාවන් සඳහා ද ත්‍රස්ත නීති භාවිතා කිරීමේ හැකියාව නිර්මාණය කරනවා.

  • මේ පනත් කෙටුම්පතේ අරමුණත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අරමුණත් අතර වෙනස්කම් තිබෙනවා ද ?

මාතෘකාවෙන් අදහස් වන පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සමානව, යෝජිත නීතියේ මූලික අරමුණ වන්නේ, රාජ්‍යය, සහ බලයේ සිටින රජය තවදුරටත් දීර්ඝ කිරීම මඟින් ආරක්ෂා කිරීමයි. එබැවින්, එය සතුව, සිවිල් වැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය කෙරෙහි අවධානය යොමු කරන, මිනිස් ජීවිත ආරක්ෂා කිරීම අවධාරණය කරන සහ ආරක්ෂාව සහතික කරන, ජනතා-කේන්ද්‍රීය රාමුවක් නැහැ. එවැනි රාමුවක් මහජන විසම්මුතිය, දේශපාලන කඩාකප්පල් කිරීම් සහ දේශපාලන බලයට එල්ල වන තර්ජන, ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස සලකනු ලැබීම කෙරෙහි විරුද්ධකම් පානු ඇතැයි විශ්වාස කළ හැකියි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ පූර්විකාව අපට මතක් කර දෙන්නේ මහජන ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යයෙහි මූලධර්ම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් සහ නිදහසට ගරු කිරීම සහ ස්වාධීනතාව, පුද්ගලයාගේ සුරක්ෂිතතාව, සාධාරණ නඩු විභාගය සහ ජාත්‍යන්තර මානව හිමිකම් ලේඛන යටතේ අත්තනෝමතිකව රඳවා තබා ගැනීමෙන් නිදහස් වීමේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. කෙසේවෙතත්, කෙටුම්පතේ ඇති විධිවිධාන කිහිපයක් මෙම අරමුණු අඩපණ කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව පෙනී යනවා.

සභා, රැස්වීම්, රැළි හෝ පෙරහැර පැහැදිලිවම තහනම් කිරීමේ බලතල පිළිබඳව 2023 සැප්තැම්බර් මාසයේ ත්‍රස්ත විරෝධී පනතෙහි කලින් දක්නට ලැබුණු භාෂාව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත මඟින් ඉවත් කර ඇති බව පේනවා. විරෝධතා, උද්ඝෝෂණ හෝ විසම්මුතිය හෝ ඕනෑම වැඩ වර්ජනයක, පිටගුළු ලෑමක හෝ වෙනත් කාර්මික ක්‍රියාකාරිත්වයක නියැලීම යන මේවා මෙම නීතියේ බලතල ආකර්ෂණය කර ගැනීමෙන් බැහැර කිරීම සඳහා තහවුරු කර ගත් විධිවිධාන හඳුන්වා දී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම තහවුරු කර ගත් විධිවිධාන, අර්ථ දැක්වීම පිළිබඳ අනෙකුත් අංග (එනම් රාජ්‍යයට බල කිරීම) සමඟ පටහැනි විය හැකි අතර, ප්‍රායෝගිකව එය ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක් තිබෙනවා. එසේම අත්අඩංගුවට ගත් හෝ රඳවාගෙන සිටින පුද්ගලයා පිළිබඳ අධිකරණ අධීක්ෂණය, රැඳවුම් මධ්‍යස්ථානවල මානුෂීය තත්ත්වයන් සහතික කිරීම, අධිකරණ නිලධාරීන් සහ මානව හිමිකම් කොමිසම රැඳවුම් මධ්‍යස්ථාන වෙත යාම, ‘පෞද්ගලිකත්වය නිසි ලෙස සැලකිල්ලට ගනිමින්’ අත්අඩංගුවට ගැනීම්, පවුලේ අය සහ නීතිඥවරයෙකු බැහැදැකීමේ අයිතිය වැනි සැකකරුවන් සඳහා ආරක්ෂාව සහතික කිරීම අරමුණු කර ගත්  විධිවිධාන කිහිපයක් තිබෙනවා. කෙසේවෙතත්, දශක ගණනාවක අත්දැකීම්වලින් පෙනී යන්නේ මෙම ආරක්ෂණ සුරක්ෂිත කිරීම පහසු නොවන බවයි. ආරක්ෂණ හෙළා දකින විට, එවැනි බල අපයෝජනයන් සමාලෝචනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම වැනි පිළියමක් ලබා ගැනීම සඳහා සැලකිය යුතු සම්පත් අවශ්‍යයි.

  • ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතේ සාධනීය ලක්ෂණ තිබෙනවා ද ?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ බෙහෙවින් විවේචනයට ලක් වූ ‘පාපොච්චාරණ වගන්තිය’ ඉවත් කර තිබෙනවා. කෙසේවෙතත්, සැකකරු සමඟ ඇති කර ගත් එකඟතාවයකින් නඩු පැවරීම කල් දැමීමේ යාන්ත්‍රණයක් හරහා නීතිපතිවරයා හට බලයෙන් නම්මාගැනීමේ බලතල ලබා දීමට ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත යෝජනා කරනවා. මෙම නීති කෙටුම්පත විධායකයට ප්‍රමාණය ඉක්මවා යන පුළුල් බලතල ලබා දීමේ ක්‍රමය දිගටම පවත්වා ගෙන යනවා. බැංකු, මූල්‍ය ආයතනවලින් තොරතුරු ලබා ගැනීමට, සේවා සපයන්නන්ගෙන් තොරතුරු ලබා ගැනීමට සහ දත්ත සහ තොරතුරු අනාවරණය කිරීමට බලය පැවරීමට පොලිසියට මහේස්ත්‍රාත්වරයෙකුගෙන් නියෝග ඉල්ලා සිටීමට ඉඩ සලසන විමර්ශන බලතල පිළිබඳ විධිවිධාන කිහිපයක් තිබීම ද සැලකිල්ලට ගත යුතු කරුණක්. සාම්ප්‍රදායිකව, හදිසිභාවය, රහස්‍යභාවය සහ මිනිස් ජීවිතයට ඇති විය හැකි පිරිවැය සහ රාජ්‍යයේ ආරක්ෂාව සඳහා ය යන හැඟීම හේතුවෙන් අධිකරණ අධීක්ෂණය සීමා කරනු ලබන බැවින් එය ‘ත්‍රස්තවාදය’ යන යෙදුම ආකර්ෂණය කරනවා. මහජන ආරක්ෂක අවශ්‍යතාවලට එරෙහිව පුරවැසියන්ගේ පෞද්ගලිකත්වය සඳහා ඇති අයිතීන් තුලනය කිරීමේ දී, ත්‍රස්තවාදය හා සම්බන්ධ ඉල්ලීම් සලකා බැලීම අධිකරණ තීරණ හැඩගැස්වීමට ඉඩ තිබෙනවා.

හදිසි අවස්ථා වලදී දැඩි බලතල සමඟ, ත්‍රස්තවාදය පිළිබඳ වැරදි එකින් එක සඳහා සාමාන්‍ය අපරාධ නීති තන්ත්‍රයක් භාවිතා කිරීම වෙනුවට, සමාන්තර අපරාධ අධිකරණ බලයන් ඇති කිරීමෙන් ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතම අනුගමනය කරන අතර, අර්ථවත් විමසා බැලීම් හෝ සමාලෝචනයකින් තොරව බලය අනිසි ලෙස භාවිතා කිරීම සඳහා ඊට සමාන විභවයක් ද එහි අඩංගු වෙනවා.

නීතිඥ එර්මිසා ටෙගල් LLB (ලන්ඩන්), LLM (නීතිය, ආණ්ඩුකරණය සහ සංවර්ධනය) (ලන්ඩන්) සමඟ කරන ලද සාකච්ඡාවක් ඇසුරිණි.

සටහන – භාතිය බරුකන්ද

රතුඉර පුවත්පතේ 2026 ජනවාරී 25 වැනි දින කලාපය ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website