සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේ අවම පොදු වැඩපිළිවෙළ ගැන කතා කළා. මේ ප්‍රශ්නේ මතු වුණ මොහොතෙම මම ගිහිල්ලා බැලුවා ‘අපි නිර්දේශ කළේ කුමක් ද ?’ කියලා. වාසනාවට අපේ බෙල්ල බේරෙන විදිහට තමයි නිර්දේශ නිකුත් කරලා තිබුණේ. මට ඒ ගැන කණගාටුව පළ කිරීමක් කරන්න අවශ්‍ය නැහැ.
මහා භාණ්ඩාගාරය විසින් ගෙවිය යුතු ණය වාරිකයක් 10 වතාවක් ව්‍යාජ ගිනුමකට බැර කිරීමට හේතු වූ සන්දර්භය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?, එසේම යළි මෙවැනි දෙයක් සිදු නොවීමට ගත හැකි පියවර පිළිබඳ පැහැදිලි කිරීමක් ඔබට කළ හැකි ද ?. එසේම මේ සිදුවීම හරහා අප උගත් පාඩම් මොනවාද ?
මෙතන යම්කිසි අකටයුක්තක් සිද්ධ වුණ බව අනිවාර්යයෙන් පේනවා. ඒ ගැන අදාළ විමර්ශන කරලා ඊට වගකිව යුතු පුද්ගලයින්ට දඬුවම් කළ යුතුයි. මේක අදාළ විමර්ශන කරන අයගේ වැඩක්. මම රාජ්‍ය ආයතන ප්‍රධානියෙක් ලෙස අවස්ථා දෙකක වැඩ කරලා තිබෙනවා. එහිදී අපි ප්‍රතිපත්ති වැඩ ක්‍රම හදලා තියෙන්නේ එක දුෂ්ඨ මනුෂ්‍යයෙක්ට වැරදි දේවල් කරන්න බැරි වෙන්න. ඒ නිසා සෑම දේකටම සංවරණ – තුලන, අනුමැති, අත්සන් මේවා එක්ක තමයි අපි වැඩ කරන්නේ, විශේෂයෙන් මුදල් ගෙවීමේ කටයුත්තේදි. මුදල් ගෙවීම රාජ්‍ය අංශයේ සෑහෙන්න කරදරකාරී සහ සංකීර්ණ දෙයක්. ඒකට හේතුව තමයි මේ ඔක්කොම ආරක්ෂාවන් දාලා තියෙන්නේ මුදල් ආරක්ෂා කර ගන්න. මේ පසුබිම තුළ යළි මහා භාණ්ඩාගාර සිදුවීමට ගියොත්, මෙතැන වැරැද්දක් සිද්ධ වුණා. නමුත් ඒකට වගකිව යුතු පද්ධතිමය ප්‍රශ්න ගැන අවධානය යොමු කළ යුතුයි. ඒකට හේතුව තමයි, අනාගතයේ දී හොඳ මිනිස්සු වංචා නොකළත් නරක මනුස්සයෙක් ආවොත් ඒ පද්ධතිය විසින් තමයි ඒ ආරක්ෂාව අපට දෙන්නේ.
රාජ්‍ය ණය කළමනාකරණය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය දීර්ඝ කාලයක් තිස්සේ කතා කළා. එහි වත්මන් ස්ථාවරය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය අපේ අවම පොදු වැඩපිළිවෙළ ගැන කතා කළා. මේ ප්‍රශ්නේ මතු වුණ මොහොතෙම මම ගිහිල්ලා බැලුවා ‘අපි නිර්දේශ කළේ කුමක් ද ?’ කියලා. වාසනාවට අපේ බෙල්ල බේරෙන විදිහට තමයි නිර්දේශ නිකුත් කරලා තිබුණේ. මට ඒ ගැන කණගාටුව පළ කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. අපි, ‘අවම පොදු වැඩපිළිවෙළ’ හදන කොට අපි අනෙක් අයගේ නිර්දේශ, යෝජනා අටක් (08) සලකා බැලුවා. ඒ අතර ඇල්ලේ ගුණවංශ හාමුරුවන්ගේ යෝජනා, නීතිඥ සංගමයේ, ස්වාධීන නීතිඥයෝ ඇතුළු සංවිධාන අටක යෝජනා අපේ අවධානයට ලක් වුණා. ඒ වගේම ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ යෝජනාත් අපි පරිශීලනය කළා. මේ ගැන අපි අපේ වාර්තාවේ වගුවක් ලෙස වාර්තා කරලා තිබෙනවා. කොහොම වුණත් සංවිධාන 07ක් ණය කළමනාකරණය ගැන කතා කරලා තිබෙනවා. එකම දේ ගැන නොවුණත් අවම වශයෙන් ඒ විෂය ගැන අවධානය යොමු කරලා තිබෙනවා. ඒ කෙටුම්පත සකස් කරලා අවසන් වුණාට පස්සේ තරුණ ආර්ථික විද්‍යාඥයින් සහ ව්‍යාපාරික නායකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව ඔවුන් අදාළ අවසන් කෙටුම්පත සංශෝධනය කළා.
මේ වෙනුවෙන් සාධාරණ සමාජය කළ යෝජනා මොනවා ද ?
අපේ මුල් යෝජනාව වුණේ, මේ සඳහා ඉහළ ප්‍රමිතියක් ඇති, දැනුම ඇති, විශේෂඥ මණ්ඩලයකින් සමන්විත ආයතනයක් විය යුතු බවයි. නමුත් සාකච්ඡාවේ දී සමහර අය කිව්වා, ‘මේක කරන්න දෙයක් නැහැ, ඒක මහ බැංකුවේ මෙහෙවර දැක්මට පිටින් යන දෙයක්, නමුත් මේක එතන තිබීම වටිනවා. ඒකට හේතුව තමයි මේ වගේ ඉහළ ගුණාත්මකභාවයක් තිබෙන පිරිසක් නඩත්තු කරගෙන ගෙනියන්න එතැන යම්කිසි සංස්කෘතියක් සහ වැටුප් පද්ධතියක් තිබෙනව ’කියලා. නමුත් ‘ඒ ගැන ප්‍රශ්න තිබෙනවා’ කියලා තමයි සාධාරණ සමාජයේ ලියවිල්ලේ තියෙන්නේ. (සාධාරණ සමාජය වෙබ් අඩවියේ භාෂා ත්‍රිත්වයෙන්ම මෙම වාර්තාව තිබෙනවා).
මෙහි දී සාධාරණය සමාජය හඳුනා ගත් ගැටලුව කුමක් ද ?
ආණ්ඩුවේ විවිධ ආයතන තිබුණා. මහ බැංකුවේ දෙපාර්තමේන්තු ගණනාවක් තිබුණා, මහා භාණ්ගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව කියලා එකක් තිබුණා. දේශීය ණය කළමනාකරණය කරන අංශ තිබුණා. ඊට අමතරව පොදු ව්‍යාපාර ඒකකයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇතුළු ආයතන ගණනාවකට අනුමත කරදුන් ගැරන්ටි ගණනාවක් තිබුණා. පී.බී. ජයසුන්දර මහත්මයාගේ කාලේ හරිත සරසවිය ඇතුළු බොහෝ ආයතන බිහි වුණේ මේ ගැරන්ටි එක නිසයි. නමුත් මේවා ගැන කිසිම ගණනයක් තිබුණේ නැහැ. විවිධ තැන්වල දත්ත තිබුණා. මේ දත්ත ඒකරාශී කිරීමක් බොහෝ විට සිදු වුණෙත් නැහැ. අර්බුදය නිසා අපි කිව්වා මේවා එක්තැන් කරලා මධ්‍යගත දත්ත පද්ධතියක් ලෙස සංවිධානය කළ යුතුයි කියලා. තරුණ ආර්ථික විද්‍යාඥයෝ සහ ව්‍යාපාරික නායකයෝ සමඟ පැවැති සාකච්ඡාවේදී අපට එකඟත්වයකට ඒමට නොහැකි වුණ නිසා අපි දෙපැත්තටම කරුණු කිව්වා. අපි කිව්වා, ‘මේක හොඳ ආයතනයක් විය යුතුයි, නමුත් ඒක මහ බැංකුව තුළ තිබෙනවා ද – නැද්ද කියලා අපි සාකච්ඡා කළ යුතුයි’ කියලා. ‘මේ ගැන හොඳට පරීක්ෂා කරලා කටයුතු කළ යුතුයි’ කියලා අපි කිව්වා.
ආණ්ඩුවේ වෙන තැන්වල හිටපු කට්ටියව දාලා තමයි මේක පිහිටුවලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වුණා මේක කරයි කියලා. ඒ වගේම අදාළ නිලධාරීන්ට යම් යම් වගකීම් තිබෙන නිසා ඔවුන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි කියලා අපි යෝජනා කළා. නමුත් අවසානයේ ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ.

ඊට පසුව සිද්ධ වුණේ කුමක් ද කියලා අපට පැහැදිලි කරන්න පුළුවන් ද ?
2024 ජූනි මාසේ 18 වැනිදා 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත ගැසට් කළා. මේක සිද්ධ වුණේ ජනාධිපතිවරණයට මාස කිහිපයකට පමණ පෙර. මේ පනතේ 6(h) වගන්තියේ තිබෙනවා ‘ණය ගෙවීමේ වගකීම නව ආයතනයට දෙනවා’ කියලා. ඒ වගේම 05 වැනි වගන්තියේ තිබෙනවා, කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සිටිය යුතුයි කියලා. ඒ වගේම මේ ආයතනය බඳවා ගන්නා අනෙක් නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා, සේවා තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුවේ සාමාන්‍ය සම්මත ක්‍රමවේදයන් තුළ කළ යුතුයි කියලා 03 වැනි උප වගන්තියේ විශේෂයෙන් තිබෙනවා. ඒ වගේම දත්ත එකතු කිරීම, වාර්තා කිරීම ආදි සියල්ලම මේ යටතේ තිබෙනවා.
සාධාරණ සමාජ යෝජනා කළේ කුමක් ද ?
මෙතන තිබෙන ප්‍රශ්නය මේකයි, අපි කිව්ව මෙහෙවර ඔවුන්ට තිබෙනවා. අපි යෝජනා කළේ මෙවැනි දෙයක්. අතීතයේ ගත්ත ණය තිබෙනවා. ඒවා අවාසිදායකයි, ඒවායේ කොන්දේසි හොඳ නැහැ. එවැනි අවස්ථාවක පුළුවන් තරම් ඉක්මනින් Treasury management / භාණ්ඩාගාර කළමනාකරණයට යා යුතුයි කියලා. Treasury management කියලා කියන්නේ, මෙහෙයුම් ස්ථාවරත්වය සහතික කිරීම සහ ලාභදායිතාවය උපරිම කිරීම සඳහා සංවිධානයක මූල්‍ය වත්කම්, ද්‍රවශීලතාවය සහ අවදානම් පිළිබඳ උපායමාර්ගික අධීක්ෂණය කිරීමයි. Treasury management කියන සංකල්පය ඉතාම වැදගත්. ඒ නිසා තමයි අපි කිව්වේ ඉතාම ඉහළ මට්ටමක වෘත්තිකයින් මේකට අවශ්‍යයි කියලා.
සාධාරණ සමාජය කළ යෝජනා ඉටු කළා ද ?
එහෙම දෙයක් වුණේ නැහැ. ආණ්ඩුවේ වෙන තැන්වල හිටපු කට්ටියව දාලා තමයි මේක පිහිටුවලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වුණා මේක කරයි කියලා. ඒ වගේම අදාළ නිලධාරීන්ට යම් යම් වගකීම් තිබෙන නිසා ඔවුන්ට ආරක්ෂාවක් තිබිය යුතුයි කියලා අපි යෝජනා කළා. නමුත් අවසානයේ ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ.
ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතීත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාව (CoPF) විසින් ලබා දීලා තිබුණ නිර්දේශයක් තමයි Chartered Financial Analyst – CFA ලාවා බඳවා ගැනීම. Chartered Financial Analyst කෙනෙක් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රාජ්‍ය මුදල් කමිටුව හමුවේ ප්‍රකාශ කළා. මෙහි අදහස තමයි මේ වන තෙක් කිසිම Chartered Financial Analyst අදාළ ආයතනයේ නැහැ.
සාධාරණ සමාජය බලාපොරොත්තු වුණ අරමුණ ඉටු වුණා ද ?
අපි බලාපොරොත්තු වුණ අරමුණ තිබෙනවා. අපි බලාපොරොත්තු වුණ ක්‍රමවේදය නැති වුණා. ඒ ක්‍රමවේදය නිසා ද මේක වැරදුනේ කියලා ප්‍රශ්න කරන්න පුළුවන්. ණය කළමනාකරණය සම්බන්ධ දත්ත එකතු කිරීමක් සිදුවිය යුතුයි, ඒ වගේම ඒවා නිවැරදි දත්ත විය යුතුයි. නමුත් ඒක කරන්න අවශ්‍ය තාක්ෂණික හැකියාව සහ දක්ෂතාවය ඔවුන්ට තිබෙනවා ද ?. මම දන්න හැටියට (මේක ඉතාමත්ම අසම්පූර්ණයි) මුදල් අමාත්‍යාංශයේ විවිධ තොරතුරු තාක්ෂණ පද්ධති තිබෙනවා. ඉතාම පැරණි පද්ධතියක් ද සහිතව අඩු වශයෙන් තුනක් හෝ සමහරවිට තුනකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙන්න පුළුවන්. (මේ ගැන වැඩි දුර සොයා බැලිය හැකියි) මේවා එකට වැඩ කරනවා ද කියලා යම්කිසි මතයක්, සැකයක් තිබෙනවා. එතකොට අපිට බලන්න තියෙන්නේ ක්‍රමවේද දෙසයි. සාමාන්‍යයෙන් සෑම ආයතනයකම යම් යම් ක්‍රමවේද තිබෙනවා. එක පුද්ගලයෙක් චෙක් එකක් ලියලා සල්ලි එළියට යවන්න බැහැ. ඒකට එකිනෙකට වෙනස් නිලධාරීන් සම්බන්ධ විය යුතුයි. ඊට අමතරව එක්තරා මුදල් මට්ටම්වලින් ඉහළ විවිධ නිලධාරීන් ඉන්නවා. චෙක්පතක අත්සන් දෙකක් හෝ තුනක් තිබිය යුතුයි.
මම දන්න ආකාරයට ආණ්ඩුවේ මේ නීතිය වඩාත් තදයි. මේක තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක්ම පමණක් නොවෙයි. තාක්ෂණ ක්‍රමවේදය අවශ්‍ය සුරක්ෂිත ආකාරයට සකස් කළ යුතුයි. මෙහි ආරක්ෂාව සඳහා එක් අයෙකුට පමණක් අවස්ථාව දෙන්නේ නැහැ. මේක තමයි සාමාන්‍ය ක්‍රමය. නමුත් මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගත්විට, සමහරු කියනවා එහි අනුමත කිරීමේ පියවර 13ක් තිබුණා කියලා. ප්‍රශ්නය තමයි මේ ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කළේ නැද්ද?, ඒවා උල්ලංඝණය කළා ද, ඒ වගේම ඒවා දුර්වල වීමට තාක්ෂණික හේතු තිබුණ කියන එක. මේවට මා සතුව උත්තර නැහැ, ඒවා ‘ඇසිය යුතු ප්‍රශ්න’ . ඒවා අහුවොත්, ඒවට සාක්ෂි සොයා ගත්තොත් (ඒක අනිවාර්යයෙන් කළ යුතුයි) හොඳයි. ඒක කරන්න නොහැකි වුණොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට පාඩුව ඩොලර් මිලියන 2.5ක් නොමෙයි, අති විශාල පාඩුවක් වෙන්න පුළුවන්. මේක අනතුරු අඟවීමක්. මේ අනතුරු ඇඟවීම තුළින් අපට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉගෙන ගෙන අනාගතයේ වෙන පාඩු වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් හදා ගන්න පුළුවන්. හැබැයි ඒකට අවශ්‍ය සියලුම දත්ත අපි සතුව තිබිය යුතුයි. නමුත් මේ දත්ත අවම වශයෙන් රජයේ මුදල් කාරක සභාව සභාවට පවා ලැබිලා නැහැ.
රජයේ මුදල් කාරක සභාව අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් දීලා තිබෙනවා නේද ?
ඔව්, මම ඒකට එකඟ වෙන්නේ නැහැ. නමුත් ඒක අරගෙන වෝහාරික විගණනයක් හරහා හරි වැරුද්ද සොයා ගත යුතුයි, ඒක ඉතාම වැදගත්. ඒකට හේතුව තමයි මෙහි මූලික වශයෙන් ‘ව්‍යුහාත්මක ප්‍රශ්නයක්’ තිබෙනවා. ඒ වගේම පේනවා මේ පනත ක්‍රියාත්මක වෙන්නේ 2025 දී හෝ 2026 දී කියලා. ඒ අනුව මේක ක්‍රියාත්මක කිරීමට යාමේ දී අතරමැදි තත්ත්වයකදී මේක වුණා ද කියලා සැකයක් බොහෝ අයට තිබෙනවා. ඒ වගේම ගෙවීම් දහයෙන් මුල් ගෙවීම් ටික කරලා තියෙන්නේ මහ බැංකුව ඇතුළෙන්. 2025 ඔක්තෝබර් සිට 2026 ජනවාරී වන තෙක් මේ ගෙවීම් කරලා තිබෙනවා. නමුත් මහ බැංකුවේ වගකීම ගැන කිසිම තොරතුරක් නැහැ. ඒක නිකං කළු කුහරයක් වාගේ. මහ බැංකුවෙන් තොරුතුරු එළියට ඇවිත් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාර සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ කාලීන සංවාද මාලාවේ 273 වැනි කතිකාව පසුගිය 10 වැනි ඉරිදා ‘රාජ්‍ය ණය කළමනාකරණයේ අභියෝග’ යන තේමාව යටතේ පැවැත්විණි. මෙවර කතිකාවේ සම්පත්දායකයින් ලෙස ‘අරුත’ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා යොලානි ප්‍රනාන්දු, මහාචාර්ය රොහාන් සමරජීව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උමේෂ් මොරමුදලි සහභාගී වූහ. සමාජ – ආර්ථික විශ්ලේෂක හරීන්ද්‍ර බී. දසනායක විසින් සංවාදය මෙහෙයවනු ලැබුවේය. එහිදී මහාචාර්ය රොහාන් සමරජීව මහතා දක්වන ලද අදහස් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර ඇත.
සටහන – තුෂාල් විතානගේ
















