‘ශ්‍රී ලංකාවේ රාජ්‍ය ධාරිතාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා’ – කථිකාචාර්ය උමේෂ් මොරමුදලි

මහා භාණ්ඩාගාරය විසින් ණය වාරික ලෙස අවස්ථා 10කදී ගෙවන ලද ඩොලර් මිලියන 2.5ක් තෙවන පාර්ශ්වයක් අතට පත්වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා ණය කළමනාකරණය සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් නිර්මාණය කර තිබේ. ඒ අතර මහා භාණ්ඩාගාරය ද ඇතුළුව රාජ්‍ය ආයතනවල මූල්‍ය හා ණය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින විශ්වාසනීයත්වය, නැතහොත් හැකියාව සම්බන්ධයෙන් ද මේ වන වි අවධානය ලක්ව ඇත. පොදුවේ ගත් කළ මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපට ‘රතු කොඩි’ එසවීමට සිදුව තිබේ. මගේ තර්කයට හේතු මෙසේ පැහැදිලි කළ හැකිය.

පසුගිය වසර දෙක තුන අතුළත මූල්‍ය හා ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ / Reforms යටතේ නීති විශාල සංඛ්‍යාවක් සම්මත කිරීමට රජය පියවර ගත්තේය. එම නීති යටතේ අලුත් ආයතන ස්ථාපිත කරන ලද අතර ඇතැම් අවස්ථාවල නව ක්‍රමවේද හඳුන්වා දුන්නේය. මේවා අනවශ්‍ය දේවල් ලෙස නොව ‘අත්‍යවශ්‍ය’ දේවල් ලෙස සැලකිය හැකිය. එයට හේතුව වන්නේ මේවා වර්ෂ ගණනාවක සිට ‘කළ යුත’ දේවල් ලෙස සලකා තිබීමය. නැතහොත් එපමණ කාලයක් ඒවා ක්‍රියාත්මක කර නොතිබීමය.

නමුත් අප මෙහි දී වැදගත් කරුණක් මතකයට නගා ගත යුතුය. පසුගිය කාලය තුළ සැලකිය යුතු ආර්ථික වර්ධනයක් සිදු වූයේ ඉහත දක්වන ලද කිසිම ප්‍රතිසංස්කරණයකින් තොරවය. එය අවධානයට ලක් කළ යුතුය.

  • වගකීමක් හෝ බැඳීමක් නැත

නමුත් ආර්ථික අර්බුදයෙන් පසු මෙකී ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇති වුණා පමණක් නොව මෙම ප්‍රතිසංස්කරණ තව දුරටත් ක්‍රියාත්මක ‘නොකර’ සිටීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වුණේය. එයට හේතුව වූයේ මෙවැනි ආයතනික ප්‍රතිසංස්කරණ / Institutional reforms ක්‍රියාත්මක කිරීමකින් තොරව ශ්‍රී ලංකාවට ණය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හෝ වෙනත් ආයතන සූදානම් නොවීමය.

මෙහි දී, මීට කලකට පෙර ම විසින් අවධාරණය කරන ලද කරුණක් යළි සිහිපත් කළ හැකිය. එහිදී මා පෙන්වා දුන්නේ  ‘මෙකී ආයතනික ප්‍රතිසංස්රණය කිසිවක් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කළේ ස්වේච්ඡා කැමැත්තකින් හෝ බැඳීමකින් තොරවය. එහි අදහස වන්නේ මෙකී ආයතනික ප්‍රතිසංස්කරණ කිසිවක් අභ්‍යන්තර අවශ්‍යතා හෝ කැමැත්ත නිසා ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ නොව බාහිර බලපෑම් වලට ප්‍රතිචාරීව ක්‍රියාත්මක කරන ලද ප්‍රතිසංස්කරණ බවයි. මේ හේතුව මත, මෙකී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් කිසිවෙක් ‘අයිතිවාසිමක්’  නොදක්වන අතර ඒවා ‘සීරියස්’ ලෙස ගන්නේ ද නැත. මේවා ‘හුදු ක්‍රියාත්මක කිරීමක් (බොක්ස් ටික්) ලෙස පමණක් සැලකිය හැකි බවයි.

  • අලුත් ආයතන

ආයතනික ප්‍රතිසංස්කරණ යටතේ අලුතින් ආයතන ගණනාවක් ස්ථාපිත කරන ලද අතර, 2024 ජුනි 18 වන දින සම්මත කර 2024 නොවැම්බර් 25 වන දින සිට බලාත්මක වූ 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත (PDMA) බලාත්මක කිරීමෙන් පසුව, 2024 දෙසැම්බර් 02 වන දින රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) ස්ථාපිත කර මෙහෙයුම් ආරම්භ කරන ලදි අතර තවත් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වැනි ආයතන ගණනාවක් ද ස්ථාපිත කරන ලදි.

රාජ්‍ය මූල්‍ය හා ණය කළමනාකරණය සම්බන්ධයෙන් මේ ආකායෙන් ආයතන ගණනාවක් අලුත් ස්ථාපිත කර ක්‍රියාත්මක කළ ද ගැටලු කිහිපයක් ඒ සමඟ නිර්මාණය වුණේය. මෙම ආයතන වල සේවය කිරීමට අවශ්‍යය නිලධාරීන් රාජ්‍ය සේවය තුළ නොවීම බරපතළම ගැටලුව නිර්මාණය කළේය. මෙම ගැටලුවට විසඳුමක් ලෙස ‘කොහෙන් කෙහෙන් හරි’ නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගත්ත ද  එය ගැටලුවේ සංකීර්ණවය හමුවේ ප්‍රමාණවත් විසඳුමක් නොවීය. එය දැක්විය හැකි ‘හොඳම’ උදාහරණය වන්නේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව මේ දක්වා ක්‍රියාත්මක නොවීමය.

  • ශ්‍රම බළකා ගැටලු

මෙහි දී යළි අවධාරණය කළ යුතු කරුණ වන්නේ ආයතන ගණනාවක් අලුතින් ආරම්භ කළ ද ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ධාරිතාවක් රාජ්‍ය අංශය සතුව නොතිබීම සහ එම ධාරිතාව වර්ධනය කර ගැනීමට හෝ ධාරිතාවය සහිත නිලධාරීන් අනුයුක්ත කර ගැනීමට රජය ‘කිසිවක්’ නොකිරීමය.

මෙවැනි පසුබිමක් තුළ මෙම ආයතන ‘අසාර්ථක’ වීම පුදුමයක් නොවේ. මෙම අසාර්ථකත්වය එක් හේතුවක් මත නොව ‘විවිධ හේතු’ මත සිදුවිය හැකිය. එහෙත් අසාර්ථකත්වය ‘නියත’ය.

මෙම අලුත් ආයතන ස්ථාපිත කිරීමේ දී රජය එම ආයතනවලට අනුයුක්ත කළ යුතු ශ්‍රම බළකාය සම්බන්ධයෙන් අවධානයක් යොමු නොකළ බව පැහැදිලි කරුණකි. නමුත් අදාළ නිලධාරීන් රාජ්‍ය පරිපාලන සේවයෙන්, රාජ්‍ය කළමනාකරණ සේවයෙන් හෝ රාජ්‍ය ගණකාධිරණ සේවයෙන් ලබා ගත හැකි ද, හෝ එය ප්‍රමාණවත් වේද යන්න පමණක් නොව ඔවුන් වෙනුවෙන් අදාළ වැටුප් තල සහ දීමනා ද මුලින් සැලසුම් කළ යුතුව තිබුණත් රජය ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබූ බවක් දැකගත නොහැකිය. මෙකී ආයතන අසාර්ථක වීමට මෙය ඍජු සාධකයක් විය.

මෙම තත්ත්වය උදාහරණයක් මඟින් පැහැදිලි කළහොත්, ක්ෂුද්‍ර මූල්‍ය නියාමනයට අදාළ ආයතනයක් නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් ඒ සම්බන්ධ පුළුල් වෘත්තීයභාවයක් සහිත නීතිඥයින්, ගණකාධිකාරීවරුන් අවශ්‍ය වන අතර රාජ්‍ය ගණකාධිකාරී සේවයෙන් එම හැකියාව සහිත නිලධාරීන් සොයා ගැනීම අසීරු බව නොරහසකි. යම් කිසි ආකාරයකින් රාජ්‍ය ගණකාධිකරණ සේවයේ නිලධාරීන් අනුයුක්ත කර අදාළ ආයතනය ක්‍රියාත්මක කළේ නම් කෙටි කාලයකින් අදාළ ආයතනය අසාර්ථ වීමට ඉඩ තිබුණේය.

මෙම ගැටලුවට විසඳුම පැහැදිලිය. කළ යුතු වන්නේ අදාළ තනතුරු වෙනුවෙන් බඳවා ගැනීමේ පටිපාටි වෙනස් කිරීම සහ ආකර්ෂණීය වැටුපක් ලබාදීමට පියවර ගැනීමය.

  • තිබෙන ආයතනවල ධාරිතාව

නව ආයතනවල ධාරිතාව සම්බන්ධ ගැටලු පවතී නම් මේ දක්වා ක්‍රියාත්මකව පවතින ආයතනවල ධාරිතාව ‘ප්‍රමාණවත්’ තරමින් පවතී ද යන්න සම්බන්ධ ගැටලුවක් ද මේ හරහා උද්ගත විය හැකිය. අපගේ අදහස වන්නේ ‘එම ආයතන සතු ධාරිතාව ද ප්‍රමාණවත් නොවන’ බවයි.

මේ තර්කය පැහැදිලි කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත හැකිය. වර්තමානය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්භාරය සහ වගකීම වඩාත් පුළුල් වී ඇත. එයට හේතුව වන්නේ වර්තමානයේ බදු ව්‍යුහය පුළුල් වීම සහ බදු ප්‍රතිශතය ද පුළුල් වීමය, සංකීර්ණ හා විවිධාංගීකරණය වීමය.

නමුත් මෙම අභියෝගවලට  සාපේක්ෂව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ධාරිතාව පුළුල් වීමක් සිදුවී නැති අතර සැබවින්ම සිදුවී ඇත්තේ ධාරිතාව අඩුවීමය. වර්තමානය වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවක පුරප්පාඩු 300ක් හෝ 400ක් පමණ පවතින අතර පසුගිය දා 100 දෙනකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමක් ද කළ ද එහි ද ගැටලු ගණනාවක් දැකගත හැකිය.

මෙහි සරල අදහස වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ද ක්‍රියාත්මක වන්නේ නිලධාරීන්ගේ හිඟයක් සහිතව බවයි. එපමණක් නොව මෙහි තවත් ගැටලු ගණනාවක් ද දැකගත හැකිය. බඳවා ගැනීමේ ගැටලු සමඟ වැටුප් සහ පුහුණුව සම්බන්ධව ද ගැටලු පවතින අතර අදාළ නිලධාරීන් ‘නිසි පරිදි පුහුණු නොකරන’ බවට දිගු කාලීන ගැටලු තිබේ.

  • ප්‍රතිපත්ති වෙනස්කම්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තා ගත ආදායම් උපයමින් සුමටව ක්‍රියාත්මක වන බවට මෙහි දී ප්‍රති තර්කයක් ඉදිරිපත් විය හැකිය. එම තර්කයට ද පැහැදිලිව වාසිදායක පසුබිමක් තිබේ. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා වාර්තා ගත ආදායම් උපයා ගැනීමක් කළේ ‘ප්‍රතිපත්ති වෙනස්කම’ හරහා බව අමතක නොකළ යුතුය.

වැට් බද්ද ඉහළ දැමීම හා බද්ධට යටත් වන කාණ්ඩය පුළුල් කිරීම, වාහන ආනයනය යළි ආරම්භ කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම පහසුවෙන් පුළුල් කළ නමුත් එය තව දුරටත් ඉදිරියට යාමට නම් දෙපාර්තමේන්තුවේ ධාරිතාව පුළුල් කිරීම අතශ්‍යවශ්‍ය කොන්දේසියකි. යම්කිසි ආකාරයකින් එහි ධාරිතාව ශක්තිමත් කිරීම අතපසු වන්‌නේ නම් ඉදිරියේ දී ‘හිර වීමක්’ සිදුවීම අපේක්ෂා කළ යුතු අවදානමක් ලෙස සැලකිය හැකිය.

  • සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන අලුතින් ස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය / Welfare Benefits Board සම්බන්ධයෙන් සමාජයේ වැඩි අවධානයක් යොවු වන්නේ නැත. නමුත්  සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ද දැඩි අවධානයට යොමු විය යුතු අලුතින් ස්ථාපිත කරන ලද තවත් රාජ්‍ය ආයතනයක් ලෙස සැලකිය හැකිය.

ශ්‍රී ලංකා සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය (WBB) මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන්නේ අවදානමට ලක්විය හැකි කුටුම්භ සඳහා විනිවිද පෙනෙන සමාජ ආරක්ෂණ සහ මුදල් හුවමාරු වැඩසටහන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ කළමනාකරණය කිරීම අරමුණ කරගෙනය. (අස්වැසුම යෝජනා ක්‍රමය වැනි). එහි මූලික වගකීම වන්නේ දැඩි සුදුසුකම් නිර්ණායක ස්ථාපිත කිරීම සහ ඩිජිටල් සුභසාධන දත්ත සමුදායන් කළමනාකරණය කිරීම මගින් සහන සාධාරණ ලෙස බෙදා හැරීමයි.

මේ අරමුණු අනුව බලන විට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ‘තිබිය යුතු’ රාජ්‍ය ආයතනයක් බව පැහැදිලිය.

නමුත් සමාජයේ වැඩි අවධානයක් යොමු නොවන හෝ ‘නොදන්නා’ කරුණක් ද තිබේ. මේ මණ්ඩලය සතුව මෙරට පවුල්, පුද්ගලයින් මිලියන හතරක පමණ සියලුම ‘දත්තවල’ හිමිකාරීත්වයක් තිබේ. ඒ අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සතු දත්ත හැරුණු විට ලංකාවේ විශාලම දත්ත එකතුවක හිමිකාරීත්වය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සතුව තිබේ.

නමුත් සුබසාධක ප්‍රතිලාභ මණඩලය බරපතළ අවදානමකට මුහුණ දෙන අතර ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ද, ධාරිතාව සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු තිබේ. විශේෂයෙන් ලංකාවේ දෙවැනියට විශාලම දත්ත ගබඩාව කළමනාකණය කිරීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සහිත තොරතුරු තාක්ෂණ පද්ධතියක් මෙම මණ්ඩලය සතු නොවේ.

මාසිකව රුපියල් බිලියන ගණනක් ප්‍රතිලාභීන් මිලියන ගණනවකට හුවමාරු කරන ආයතනයක් මේ ආකාරයේ අනාරක්ෂිත වේදිකාවක් මත ක්‍රීඩා කිරීම ගැටලු සහගත බවට තර්කයක් නැත.

ධාරිතාව සම්බන්ධ ගැටලු හේතුවෙන් පසුගිය කාලය පුරාම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විවිධ ගැටලු සහ දුෂ්කරතාවලට මුහුණ දුන් බව නොරහසකි. අපගේ අදහස  අනුව මෙම සියලු ගැටලු සහ දුර්වලතා වලට පදනම වන්නේ ප්‍රමාණවත් පරිදි ධාරිතාවයක් නොවීමය.

මෙහි දී ඉතා පහසුවෙන් පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට තරම් අනාරක්ෂිත බවක් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ දත්ත පද්ධතිය හමුවේ තිබේ. මෙය පහසුවෙන් බැහැර කළ හැකි අවදානමක් වනවා පමණක් නොව පහසුවෙන් මෙම අවදානම කළමනාකරණය කර ගැනීමට ද හැකියාවක් නැත. සාමාන්‍ය රාජ්‍ය සේවක වැටුප් යටතේ මෙවැනි අති දැවැන්ත දත්ත පද්ධතියක් කළමනාකරණය කිරීමට හැකියාව සහිත නිලධාරීන් අනුයුක්ත කර ගැනීම අසීරු බව පැහැදිලිය.

  • රාජ්‍ය ධාරිතාව සම්බන්ධ ගැටලු

මුලින්ම අවධාරණය කළ යුත්තේ රාජ්‍ය අංශයේ ධාරිතාව / state capacity  සම්බන්ධ බරපතළ ගැටලුවකට මුහුණ දී සිටින බවයි. ඇතැම් විශේෂඥයින්ට අනුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ධාරිතාව අඩු අදායම් ලබන සෙසු බොහෝ රටවල රාජ්‍ය අංශය සතු ධාරිතාවයට වඩා බොහෝ පහළින් තිබේ.

(රාජ්‍ය ධාරිතාවය / state capacity යනු රජයකට තම ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීමට, නීති ක්‍රියාත්මක කිරීමට සහ පොදු භාණ්ඩ හා සේවා සැපයීමට ඇති හැකියාවය. එය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ රාජ්‍යයක ආදායම ඉහළ නැංවීම, පිළිවෙල පවත්වා ගැනීම සහ සංකීර්ණ ආයතනික කාර්යයන් පරිපාලනය කිරීමේදී එහි මුළු අයවැය ප්‍රමාණයෙන් පමණක් නොව, එහි කාර්යක්ෂමතාවය මගිනි).

ලංකාව ‘මැදි ආදායම් ලබන රටක්’ ලෙස මෙරට පාලකයින් පුරසාරම් කීව ද, ශ්‍රී ලංකාව රාජ්‍ය ධාරිතාව සම්බන්ධයෙන් බොහෝ අප්‍රිකානු රටවල් වලට ද වඩා පහළින් සිටින බව පිළිගත යුතුය. උදාහරණයක් ලෙස 2010 දී ස්ථාපිත කරන ලද නයිජීරියාවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවට වඩා ‘ගව් ගණනක් ඉහළින්’ පවතී. නයිජීරියාව මේ මේ ආකාරයේ ඉහළ ධාරිතාවක් අත්පත් කරගෙන ඇත්තේ නිසි ක්‍රමවේදයකට අනුව ඉහළ නිලධාරීන් බඳවා ගැනිම, මධ්‍යම කළමනාකරණ තලයේ නිලධාරීන් ඉහළට යාමේ අවස්ථාව ලබාදීම, ඉහළ වැටුප් සහ පහසුකම් ලබාදීම තුළිනි. නමුත් අවාසනාවට ශ්‍රී ලංකාව නොකරන්නේ ද මෙයමය.

ශ්‍රී ලංකාව මේ අනතුර සහ අවධානම වටහා ගත යුතුය. උදාහරණයක් ලෙස පසුගිය අග්නිදිග ආසියානු අර්ථික අර්බුදයෙන් පසු එම රටවල රාජ්‍ය ධාරිතාව සම්බන්ධයෙන් විශාල සංවාදයක් ආරම්භ විය. එහි දී, අර්බුදයට මූලික හේතුව ලෙස ඉදිරිපත් වූ, වඩාත් අවධානය දිනාගත් අදහසක් වූයේ ‘අර්බුදය ආරම්භ වන අවස්ථාවේ එයට මුහුණ දීමට තරම් රාජ්‍ය  ආයතනවල ප්‍රමාණවත් ධාරිතාවක් නොතිබූ බවට වන යෝජනාවයි.

ආර්ථික අර්බුදයෙන් පසු ඉන්දුනීසියා, තායිලන්තය, පිලිපීනය ආදි රටවල රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ ගණාවක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිපලයක් ලෙස යළි ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීමට අවස්ථාව උදාවිය.

2020-22 මූල්‍ය අර්බුදයේ දී ශ්‍රී ලංකාව ද අග්නිදිග ආසියානු රටවල් මුහුණ දුන් ඉරණමට සමාන ඉරණමකට මුහුණ දුන්නේය. මෙම අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාව විවිධ නීති සම්පාදනය කළ ද ශ්‍රී ලංකාවට රාජ්‍ය ධාරිතාව ඉහළ නංවා ගැනීමට නොහැකි විය. නමුත් මෙවැනි තීරණාත්මක හා සංකීර්ණ ප්‍රතිසංස්කරණ 100%ක්ම නිවැරදි වේයැයි අපේක්ෂා කළ නොහැකිය. නමුත් අර්බුදයෙන් මිදීමට, ගොඩ ඒමට නම් ‘ප්‍රශ්නයක් තිබෙන බව හඳුනා ගෙන, ඒ සම්බන්ධයෙන් රජයන් ක්‍රියාත්මක විය යුතුය. එවැනි පියවරක් ගත්තේ නම් ‘කෙටි කාලයක්’ තුළ රාජ්‍ය ධාරිතාව වර්ධනය කරගත හැකිව තිබුණේය. නමුත් මෙය පහසු හෝ ලාභදායී ලෙස කළ නොහැකිය. අදාළ පුද්ගලයින් බඳවා ගැනීම කළ යුතු අතර නිසි යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි.

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website