‘මේ ආණ්ඩුව ජේ.ආර්ගේ කාබන් පිටපතක්’ – මහාචාර්ය ජී.එල්. පීරිස් – හිටපු අමාත්‍ය

මේ වගේ තත්ත්වයක් මම මගේ ජීවිත කාලය තුළ දැකලා නැහැ. පසුගිය කාලය තුළ බලයට පත් වුණ සෑම ආණ්ඩුවකම ඍණාත්මක හා ධනාත්මක ලක්ෂණ තිබුණා, සර්ව සම්පූර්ණ ආණ්ඩු ලෝකයේ නැහැ. නමුත් මේ වාගේ සම්පූර්ණ කඩා වැටීමක් ගැන මට නම් හිතා ගන්නත් බැහැ. පසුගිය කෙටි කාලය තුළ මහා භාණ්ඩාගාරයේ සිදු වුණ දේවල් ලෝකේ කිසිම රටක සිද්ධ වෙලා නැහැ, මේවා හීනෙන්වත් හිතන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ ආණ්ඩුව බලයට ආවේ සිස්ටම් චේන්ජ් කරන්න, නමුත් මේ වන විට සිස්ටම් එක සම්පූර්ණයෙන්ම බ්‍රේක්ඩවුන් වෙලා. මේක හරිම අහඹු සිද්ධියක්. ආණ්ඩු වෙනස් වුණත් කිසිම ආණ්ඩුවක් යටතේ මේ වගේ තත්ත්වයක් උද්ගත වෙලා නැහැ.

ආණ්ඩුව බරපතළ ලෙස ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශ කරමින් සිටිනවා. දීර්ඝ කාලයක් බලයේ සිටින බව කියනවා. නමුත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අවුරුදු පහකට වරක් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්විය යුතුයි. ඒක නොකර සිටින්න කිසිම ආණ්ඩුවකට බලයක් නැහැ. මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බව අමතක නොකළ යුතුයි. ඔවුන් විප්ලවයකින් රාජ්‍ය බලය අල්ල ගත්තේ නැහැ. මැතිවරණ ජයග්‍රහණයක් තුළින් ආණ්ඩු බලය දිනා ගත්තා පමණයි. ඔවුන් දිනා ගත්තේ ආණ්ඩු බලය මිස රාජ්‍ය බලය නෙමෙයි. ආණ්ඩු බලය නියමිත කාලයක් තුළ පවත්වන මැතිවරණවලින් තීන්දු වෙන්නේ. මැතිවරණ ජයග්‍රහණය කළොත් අවුරුදු 10ක් නෙමෙයි 50ක් 60ක් වුණත් බලයේ ඉන්න පුළුවන්.

මේ ආණ්ඩුව ජේ.ආර්ගේ කාබන් පිටපතක් වාගේ හිතන, රනිල් වික්‍රමසිංහගේ දෙවැනි ඉණිම වාගේ වැඩ කරන ආණ්ඩුවක්. ජේ.ආර් වාගේ මැතිවරණ සිතියම හකුළන්න කතා කරනවා, දශක ගණනාවක් බලයේ ඉන්න සැලසුම් කරනවා, රට සංවර්ධනය කරන තෙක් බලය අත් නොහරින බව කියනවා. මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කතා, ඒකාධිපති, ආඥාදායක කතා. නමුත් ඒවා ලංකාවට වලංගු නැහැ. මේ පසුබිම තුළ මේ ආණ්ඩුව බලයට පත් කිරීමේ සියලු අපේක්ෂාවන් මේ කෙටි කාලය තුළ බිඳ වැටී තිබෙනවා. ජනතාවගේ කිසිම අපේක්ෂාවක් ඉටු වුණේ නහැ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පනත හැදුවේ මම. මේක 1994 චන්ද්‍රිකා රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රථම පනත. ආණ්ඩුව හැදුවේ 1994 අගෝස්තු මාසේ, අධිකරණ ඇමැතිවරයා ලෙස මම ඒ පනත ඉදිරිපත් කළේ 1994 ඔක්තෝබර් මාසේ.  

හොරු අල්ලන එක ගැන අපට කිසිම විවේචනයක් නැහැ, ඒක අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. ජනතාවගේ මුදල් සොරකම් කළා නම් අදාළ පුද්ගලයින් ඒකට වන්දි ගෙවිය යුතුයි. නමුත් ඒක නිවැරදි පටිපාටියකට, නීතියේ ආධිපත්‍යයට අනුව සිදුවිය යුතුයි. ඒකට අධිකරණය තිබෙනවා, ඒ වෙනුවෙන්ම ස්ථාපිත කරන ලද අල්ලස් කොමිෂම වැනි ආයතන තිබෙනවා. මේවා හරහා පමණයි අල්ලස සහ දූෂණය සම්බන්ධ නෛතික ක්‍රියාමාර්ග ගත යුත්තේ. එසේ නොකොට වත්මන් ජනාධිපතිවරයා සහ ඇමැතිවරු කියන ආකාරයට දේශපාලන වේදිකාවේ නඩු තීන්දු නොදිය යුතුයි. අධිකරණය හමුවේ විභාග වන නඩුවල තීන්දු කල් ඇතිව ප්‍රකාශයට පත් නොකළ යුතුයි. නඩු ඇසීම සහ තීන්දු දීම අධිකරණයේ කාර්යභාරයක්, ඒකට ආණ්ඩුව කිසිම ආකාරයකින් අත නොතැබිය යුතුයි. ඒ වගේම තමයි හොරු අල්ලන අධිකරණ හා විමර්ශන ආයතන ක්‍රියාවලිය ස්වාධීන හා අපක්ෂපාතී විය යුතුයි. එය ජනතා විශ්වාසයට භාජනය විය යුතුයි. නමුත් වර්තමානයේ හොරු අල්ලනවා කියලා කරන්නේ දේශපාලන විරුද්ධවාදීන් නිහඬ කිරීමේ උත්සාහයක්, මේක දේශපාලන දඩයමක්. ඒ ගැන කතා දෙකක් නැහැ.

ඒ චෝදනාව පිළිගන්න බැහැ. අපි ඉතාම සක්‍රීය ලෙස ආණ්ඩුවට එරෙහිව ජනතාව දැනුවත් කරමින් සිටිනවා. නිරන්තරයෙන්ම ප්‍රාදේශීය සම්මන්ත්‍රණ සහ ජනහමු හරහා ජනතාව දැනුවත් කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ මැයි දින කතාව සම්බන්ධයෙන් අග්‍රවිනිශ්චයකාරතුමාට ලිඛිත දැනුවත් කිරීමක් කළා, එහි පිටපත් ජාත්‍යන්තර සංවිධානවලට යොමු කළා. දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අපි මේ ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව පෙළ ගැසෙමින් සිටිනවා, ආණ්ඩුවට එරෙහිව ජනමතයක් බිහිකරමින් සිටිනවා. මේක දේශපාලනඥයින්ට පමණක් තනිව කළ නොහැකියි. ඒකට සමස්ත සමාජයේ ඍජු දායකත්වය සහ සහාය අවශ්‍යයි. ආණ්ඩුවේ අත්තනෝමතික සහ ප්‍රජා පීඩක පාලනයට එරෙහිව පුළුල් බහුජන බලවේගයක් නිර්මාණය කිරීම තමයි අපේ අරමුණ. ඒක එක රැයකින් කරන්න බැහැ. නමුත් මේ කෙටි කාලය තුළ අපි ලබාගත් ප්‍රගතිය ගැන මම සතුටට පත්වෙනවා.

ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවෙන් කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ, දුන්න පොරොන්දු කිසිවක් ඉටුකරන්නෙත් නැහැ, ඉටු කරන්නත් බැහැ. මේ තත්ත්වය හමුවේ ජනතාව විශාල අසහනයකට පත්ව සිටිනවා. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ යාම, ප්‍රවාහන වියදම් ඉහළ යාම වාගේ නිමක් නැති ගැටලු හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මිනිස්සු දරා ගන්න බැරි ආර්ථික පීඩනයක සිටිනවා. මේ තත්ත්වය හමුවේ ජනතාවගේ අවධානය වෙත තැනකට යොමු කිරීමට තමයි ආණ්ඩුව මේ රංගනය කරන්නේ. ඒ නිසා තමයි අල්ලස් නඩු දාන්නේ, රිමාන්ඩ් කරන්නේ, නඩු තීන්දු ගැන කලින් ප්‍රකාශ කරන්නේ. නමුත් දැන් ඒ කිසිම දේකට ජනතාවගේ ආකර්ෂණයක් නැහැ. ඒ වගේම මේ ආණ්ඩුවටත් බරපතළ අල්ලස් සහ දූෂණ චෝදනා තිබෙනවා. කන්ටේනර් 323 සම්බන්ධ සිද්ධිය, බාල ගල් අඟුරු ආනයනය කිරීම, මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් සොරා ගැනීම වැනි නිමක් නැති චෝදනා තිබෙනවා. නමුත් මේ කිසිවක් ගැන අල්ලස් කොමිෂම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා ගොනු කිරීමක් හෝ විමර්ශන ආරම්භ කිරීමක් සිදු වෙලා නැහැ. මේවා හමස් පෙට්ටියේ දාලා, විපක්ෂයට එරෙහි චෝදනා කරළියට ගෙනත් තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවට එරෙහිව එල්ල වෙලා තිබෙන කිසිම චෝදනාවකට ආණ්ඩුව වගකීම බාර ගන්නේ නැහැ. ඒවට වගකිව යුතු පුද්ගලයෙක් නැහැ. නමුත් නිමක් නැති සොරකම් සහ දූෂණ සිදුවෙලා තිබෙනවා. අධිකරණයම ක්‍රියාවලියක් ආරම්භ වෙලා නැහැ.

ඒක තමයි මේ ආණ්ඩුව කරන අලුත්ම සෙල්ලම. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ සොරකමේ වගකීම අනිවාර්යයෙන්ම භාර ගත යුතුයි. 2024 අංක 44 දරන මුදල් පරිපාලන පනත අනුව මේ සොරකමේ සම්පුර්ණ වගකීම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා භාර ගත යුතුයි. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 52 වගන්තියේ (2) උප වගන්තියේ මේ ගැන තව දුරටත් සඳහන් වෙනවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කීපදෙනෙකුගේ වැඩ තහනම් කරලා මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. රංග රාජපක්ෂගේ සියදිවි නසා ගැනීම හරහා මේ සිද්ධිය යටපත් කරන්න බැහැ. ඒ වගේම ජාතික සංවර්ධන බැංකුවේ රුපියල් බිලියන 12කට අධික වංචාවක් වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ කෝටි 20ක පමණ වංචාවක් වාර්තා වෙනවා. අස්වැසුම, මාර්ග සංවර්ධණ අධිකාරිය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වාගේ තවත් ප්‍රධාන තැන ගණනාවක බරපතළ මූල්‍ය අක්‍රමිකතා සහ වංචා වාර්තා වෙනවා. මේ කිසිවක වගකීම ආණ්ඩුව හෝ අදාළ නිලධාරීන් භාර ගන්නේ නැහැ.

මේ වන විට රාජ්‍ය මූල්‍ය කළමානාකරණය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන්නේ. හැම දාම මොකක් හරි මුල්‍ය වංචාවක් හෝ අක්‍රමිකතාවක් වාර්තා වෙනවා. මේක බරපතළ තත්ත්වයක්. ආණ්ඩුවේ නොහැකියාව පිළිබඳ සාක්ෂියක්.

මම දකින ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ පරිණාමය වුණේ නැහැ, දශක ගණනාවක් තිස්සේ යල්පැන ගිය නිර්ධන පංති විප්ලවයක්, සමාජවාදයක් ගැන කතා කළාට වෙනස් වුණේ නැහැ, සමාජ ප්‍රගමනය සමඟ වෙනස් වුණේ නැහැ. අහඹු ලෙස, කිසිමදාක විශ්වාස නොකළ ලෙස ආණ්ඩු බලය ලැබුණත් ඔවුන් තාම ඉන්නේ පටු විපක්ෂ දේශපාලනයේ, 3%ක මානසිකත්වයේ. තාම කතා කරන්නේ ගැලරියට, තමන්ගේ 3%ක කාඩාර් එකට. තමන්ට ආණ්ඩු බලය ලැබුණා, 2/3ක දැවැන්ත බලයක් ලැබුණා කියලා මේ අයට අමතක වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා තාම හැසිරෙන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වාගේ, ආණ්ඩු පක්ෂයත් ඒ වගේමයි. මේක විපක්ෂයක් වුණ ආණ්ඩුවක්. ආණ්ඩුවේ සිට විපක්ෂයේ කාර්යභාරය කළ නොහැකි බව මේ අය දන්නේ නැහැ.

අවුරුදු 60ක් දේශපාලනය කළත්, මාස 18ක් ආණ්ඩු බලය තිබුණත් ජවිපෙට හෝ මාළිමාවට වැඩක් කරන්න පුළුවන්, අත්දැකීම් තිබෙන වෘත්තිකයින් සහ පරිපාලකයින් නැහැ. ඒක බරපතළ තත්ත්වයක්. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයෙක් පත් කිරීම මෙහි කූඨ ප්‍රාප්තිය ලෙස සැලකිය හැකියි. ඔහුට රාජ්‍ය මූල්‍ය පාලනය ගැන කිසිම දැනුමක්, අත්දැකීමක් හෝ පළපුරුද්දක් නැහැ. අද මහා භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කන්නේ මේ නිසයි. ලෝකේ කිසිම රටක මේ වගේ අදහා ගන්න බැරි දේවල් වෙන්නේ නැහැ. මේක පැහැදිලිව ම නොහැකියාව පිළිබඳ ප්‍රශ්නයක්.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කරයි කියලා මම හිතන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත කියලා විකල්ප පනතක් කෙටුම්පතක් ඉදිරිපත් කළා. ඒක මුල් පනතට වඩා අන්තයි. යුරෝපා සංගමය ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියලා. මේක ලංකාවට හිමි වන GSP+ තීරු බදු සහනය සමඟ ඍජුව සම්බන්ධ කර තිබෙනවා. ආණ්ඩුව කෙටුම්පත් කළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ, ඒක අකුළ ගත්තා. මේ පනත සම්මත කර ගන්නත් බැහැ, ඒක ඒ තරම් දරුණු පනතක්.

නැහැ, මේ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නැහැ, ඒකට ප්‍රධාන හේතුවක් තිබෙනවා. පළාත් සභා මැතිවරණය පැවැත් වුවහොත් මේ ආණ්ඩුවට දැවැන්ත පරාජයක් ලැබෙනවා. ඒක මේ වන විට ඉතාම ප්‍රකට කරුණක්.

මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය අයාලේ යන එකක්. ආණ්ඩුවට කිසිම විදේශ ප්‍රතිපත්තියක් නැහැ වගේම එහි සාධනීය වර්ධනයකුත් නැහැ. ඉරාන යුධ නෞකාව සම්බන්ධ සිද්ධියේ දී මේ තත්ත්වය වඩාත් පැහැදිලිව ප්‍රකට වුණා. නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කියන්නේ වැට උඩ සිටීම නෙමෙයි. ලංකාව අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ලෝකයේම ගෞරවයට ලක් වුණ එකක්. විශේෂයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ දී අපට ලෝකයෙන් විශාල පිළිගැනීමක් ලැබුණා. මේ ආණ්ඩුවට එවැනි පිළිගැනීමක් ඇති විදේශ ප්‍රතිපත්තියක් නැහැ. මේ ආණ්ඩුව බ්‍රික්ස් සමුළුව මග හැරියා. ඒක නොකළ යුතුව තිබුණ දෙයක්, අපට අගනා අවස්ථාවක් අහිමි වුණා.

නාමල් රාජපක්ෂ මහතාගේ පැහැදිලි ප්‍රගතියක් තිබෙනවා. නමුත් තව බොහෝ දේවල් කළ යුතුයි.

ඒක ඉතාම වැදගත්. ආණ්ඩුවේ ජනප්‍රියභාවය වේගයෙන් පිරිහෙමින් තිබෙනවා. මේ ආණ්ඩුවට පැහැදිලිව අභියෝග කළ හැකි විපක්ෂයක් අවශ්‍යයි. ආණ්ඩුව ප්‍රතික්ෂේප කරන ජනතාවට විශ්වාසයෙන් යා හැකි දේශපාලන වේදිකාවක්, බලවේගයක් කඩිනමින් බිහි කළ යුතුයි. අපේ අරමුණ දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් බිහි කිරීම නෙමෙයි. විපක්ෂයේ සිටින විවිධ කණ්ඩායම්වල අනන්‍යතාව සම්පුර්ණයෙන් සුරක්ෂිත කරමින් ජාතික වැදගත්කමකින් යුත් කාරණා සම්බන්ධයෙන් පොදු වැඩපිළිවෙළකට අපි යා යුතුයි. උදාහරණයක් ලෙස නිසි කාලයට මැතිවරණ පැවැත්විම ගන්න පුළුවන්. මේකට විපක්ෂයේ සියලු දෙනාට එකඟ වෙන්න පුළුවන්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය, නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය රැක ගැනීම විපක්ෂයේ සියලු දෙනාටම වැදගත්, වගේම එකඟ විය හැකි පොදු කාරණා. මේ වෙනුවෙන් විපක්ෂයේ සියලුම බලවේග නියෝජනය වන පොදු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේ වන විට අපි මේ වැඩපිළිවෙළ තුළ සාර්ථකත්වයක් ලබා ගෙන තිබෙනවා.

සටහන – භාතිය බරුකන්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website