ව්‍යාජ SLS ප්‍රමිති ලාංඡනය යෙදූ පානීය ජල බෝතල් 8,500ක් අවිස්සාවේල්ලේදී පාරිභෝගික අධිකාරිය භාරයට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් 2026 අගෝස්තු 21 වන සිකුරාදා අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී, ව්‍යාජ ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය (SLS Mark) යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ පානීය ජල බෝතල් 8,500කට ආසන්න තොගයක් අනාවරණය කරගෙන ඇත.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ පානීය ජලය අමිතිරිගල, රුවන්වැල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කර, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි ගබඩාවක ගබඩා කර තිබූ බවයි. එම ගබඩාව පරීක්ෂා කිරීමේදී මිලිලීටර් 500 සිට ලීටර් 19 දක්වා විවිධ ප්‍රමාණවලින් යුත් පානීය ජල බෝතල්වල ව්‍යාජ ලෙස SLS ප්‍රමිති ලාංඡනය සහ සහතික අංක 894 සඳහන් කර තිබූ බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම පානීය ජල බෝතල් තොගය ඒ වන විට වෙළෙඳපොළට නිකුත් කර නොතිබූ අතර, වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සූදානම් කර තිබූ තොගයක් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. බෝතල් 8,500කට ආසන්න ප්‍රමාණය නිලධාරීන් විසින් මුද්‍රා තබා සිය භාරයට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන අවසන් කිරීමෙන් පසු වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙය පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පමණක් නොව, සාධාරණ වෙළෙඳපොළ තරගකාරීත්වයට ද බලපාන බරපතළ කරුණකි.

නීත්‍යානුකූලව පානීය ජලය නිෂ්පාදනය සහ අලෙවි කරන ව්‍යාපාරිකයන් අදාළ ප්‍රමිති හා නියාමන අවශ්‍යතා සපුරාලමින්, නියමිත බදු, ගාස්තු සහ අනෙකුත් ගෙවීම් සිදු කරමින්, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පිරිවැය දරමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යයි.

එහෙත් නීතිමය හා ප්‍රමිති අවශ්‍යතා නිසි පරිදි අනුගමනය නොකර නිෂ්පාදනය කරන භාණ්ඩ වෙළෙඳපොළට ගෙන ඒමෙන් නිෂ්පාදන පිරිවැය අසාධාරණ ලෙස අඩු කරගැනීමට හැකි විය හැකිය. එමඟින් තොග හෝ සිල්ලර වෙළෙඳුන්ට අඩු මිලට භාණ්ඩ ලබාදීමට සහ වැඩි ලාභ ආන්තික ලබාදීමට හැකි වන අතර, නීතියට අනුකූලව ව්‍යාපාර කරන නිෂ්පාදකයන්, ආනයනකරුවන්, සැපයුම්කරුවන්, තොග වෙළෙඳුන් සහ සිල්ලර වෙළෙඳුන්ට අසාධාරණ තරගකාරී පීඩනයක් ඇති කළ හැකිය.

එබැවින් ව්‍යාජ ප්‍රමිති ලාංඡන භාවිතය පාරිභෝගිකයා නොමඟ යැවීමක් පමණක් නොව, නීත්‍යානුකූල ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපාමින් වෙළෙඳපොළේ සාධාරණ තරගකාරීත්වය විකෘති කළ හැකි ක්‍රියාවක් ද වේ. මෙවැනි ක්‍රියාකාරකම් වැළැක්වීමෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම මෙන්ම නීතියට අනුකූලව කටයුතු කරන ව්‍යාපාරිකයන් සඳහා සාධාරණ වෙළෙඳපොළ පරිසරයක් තහවුරු කිරීමද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අරමුණකි.

තොග සහ සිල්ලර වෙළෙඳුන්ගේ විශේෂ අවධානයට: භාණ්ඩයක් අඩු මිලකට හෝ වැඩි ලාභ ආන්තිකයක් සහිතව ලැබෙන බව පමණක් සලකා මිලදී නොගන්න. විශේෂයෙන් ප්‍රමිති සහතික අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පෙර නිෂ්පාදනයේ මූලාශ්‍රය, නිෂ්පාදකයා/ආනයනකරු, අදාළ ප්‍රමිති ලාංඡනය හා සහතිකයේ සත්‍යතාව සහ භාණ්ඩය ලැබෙන සැපයුම් මාර්ගය පිළිබඳව තහවුරු කරගන්න. සැකයක් පවතින්නේ නම් අදාළ සහතිකය නිකුත් කළ ආයතනයෙන් එහි වලංගුභාවය තහවුරු කරගැනීමට කටයුතු කරන්න.

එමෙන්ම භාණ්ඩ මිලදී ගැනීමේදී නිසි බිල්පත්, ඉන්වොයිසි, ලදුපත් සහ අදාළ සැපයුම් ලේඛන ලබාගෙන ආරක්ෂිතව තබාගන්න. අවශ්‍ය අවස්ථාවකදී භාණ්ඩය ලබාගත් ස්ථානය සහ සැපයුම් දාමය තහවුරු කිරීමට හැකිවන පරිදි එම ලේඛන පවත්වාගෙන යාම නීත්‍යානුකූලව ව්‍යාපාර කරන වෙළෙඳුන්ගේ ආරක්ෂාවටද වැදගත් වේ.

පාරිභෝගික ඔබත් පානීය ජල බෝතල් මිලදී ගැනීමේදී ලේබලය, නිෂ්පාදක තොරතුරු සහ අදාළ ප්‍රමිති සලකුණු පිළිබඳව සැලකිලිමත් වන්න. ප්‍රමිති ලාංඡනයක් සඳහන් කර තිබීම පමණක් එය සත්‍ය සහ වලංගු බවට සහතිකයක් නොවන බැවින් සැක සහිත නිෂ්පාදන පිළිබඳව අවධානයෙන් සිටින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website