CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම: විපක්ෂ නායක සජිත්ගෙන් රජයට කඩඉම් ප්‍රශ්න පත්‍රයක්

රටේ අපනයන තරඟකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් 2029 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (22) පාර්ලිමේන්තුවේ දී රජයෙන් දැඩිව ප්‍රශ්න කරමින් ප්‍රශ්න ගණනාවක් රජය වෙත ඉදිරිපත් කළේය.

මෙම ප්‍රශ්න ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කිරීම තුළ දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමට මෙන්ම පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ද සැලසුම් අන්තර්ගත විය යුතු බවයි.

විපක්ෂ නායකවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“රටේ අපනයන තරඟකාරීත්වය වැඩි කිරීමේ අරමුණින් 2029 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර තිබුණ ද එම තීරණයේ දී  නිසා දේශීය කර්මාන්තකරුවන්ට, ව්‍යවසායකයන්ට මෙන්ම අවසානයේදී රැකියා නියුක්තිය සහ පාරිභෝගිකයන්ට බරපතළ ප්‍රශ්න මතු කරනවා.

විශේෂයෙන් 2026-29 අතර ලබා දී ඇති කාල සීමාවේ දේශීය කර්මාන්ත තරඟකාරී මට්ටමකට ගෙන ඒම සඳහා ප්‍රමාණවත් ද ?, යන්න සහ අවසානයේ ශ්‍රී ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් ආනයන ආර්ථිකයකට තල්ලු වීමේ අවදානමක් පවතින්නේ නේද ? යන්න පිළිබඳව රටට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා.

එම නිසා විශේෂයෙන්ම දේශීය කර්මාන්තකරුවා සුරක්ෂිත කිරීම මෙන්ම අපනයන ක්ෂේත්‍රය ප්‍රවර්ධන කිරීම පිණිසත්, ඒ වගේම පාරිභෝගික අයිතිය සුරක්ෂිත කිරීම උදෙසත් තමයි මෙම මේ වැදගත් ප්‍රශ්නය ආණ්ඩුවෙන් විමසන්නේ.

2029 වන විට CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පෙර දේශීය කර්මාන්ත චීනය සහ ඉන්දියාව වැනි රටවල් සමඟ තරඟ කළ හැකි මට්ටමකට ගෙන ඒම සඳහා 2026-29 කාලය ප්‍රමාණවත් බවට මුදල් අමාත්‍යාංශය සිදුකළ ආර්ථික ඇඟයීම කුමක් ද ?

CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම හේතුවෙන් රජයට අහිමි විය හැකි බදු ආදායම පිරවීම සඳහා මුදල් අමාත්‍යාංශය සතුව ඇති නිශ්චිත ආදායම් සැලසුම කුමක් ද ?, නැතහොත් බදු බර නැවත ජනතාව මත පැටවීමට කටයුතු කරන්නේ ද ?

සිමෙන්ති, ටයර්, ටයිල්, ඇඟළුම් ඇතුළු කර්මාන්ත සඳහා 2029 දක්වා ලබාදී ඇති ආරක්ෂණ කාලය තුළ ඒවා නවීකරණය කිරීමට සහ තරඟකාරී තත්ත්වයට පත් කිරීම සඳහා රජය ලබා දෙන මූල්‍ය සහන මොනවා ද ?

ගෘහස්ත ඇඟළුම්, ගෘහ භාණ්ඩ, පාවහන්, කෘෂි නිෂ්පාදන, සම්භාණ්ඩ සහ වෙනත් දේශීය කර්මාන්ත අඩු මිල ආනයන හමුවේ බිඳ වැටීම තුළින් රැකියා අහිමි වීම වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද ?,

පසුගිය දශකයේ අපනයන වර්ධනය සීමිතව පැවති පසුබිමක ESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම පමණක් අපනයන ඉහළ යාමට ප්‍රමාණවත් වන බවට රජය සතුව ඇති ආර්ථික සාක්ෂි මොනවා ද ?

අපනයන ප්‍රවර්ධනය කළ යුතුයි, ඒ ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා, නමුත් ඒ වගේම දේශීය කර්මාන්ත ද සුරක්ෂිත කළ යුතුයි. අපේ ප්‍රශ්නය තමයි CESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම තුළ අපනයන ප්‍රවර්ධනය සිදුවන ආකාරය රජය අපට සාක්ෂි සහිතව පැහැදිලි කළ යුතුයි.

එසේම ESS බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීම සහ PAL බද්ද ඉවත් කිරීමෙන් නිමි භාණ්ඩ ආනයනය වැඩි වී වෙළෙඳ හිඟය තව දුරටත් වර්ධනය වීමේ අවදානම පිළිබඳව රජය සිදුකළ බලපෑම් ඇඟයීම කුමක් ද ?

අපි මේ ප්‍රශ්නය ඇසීමට හේතුව තමයි රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දුවක් දීලා තිබෙනවා CESS බද්ද සහ PAL බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කියලා.  ආණ්ඩුව මේ පියවර සම්බන්ධයෙන් කළ බලපෑම් තක්සේරු ඇඟයීම කුමක් ද ? කියලා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතුයි.

ඒ වගේම දශක ගණනාවක් CESS බද්දේ ආරක්ෂාව යටතේ තිබූ කර්මාන්ත නවීකරණය කිරීමට රජයන් අසමත් වූ පසු අද ඒවා විදේශීය දැවැන්ත කර්මාන්ත සමඟ ඍජුව තරඟ කිරීමට බලකිරීම ප්‍රතිසංස්කරණයක් ද?, නැතහොත් දේශීය කර්මාන්තවල අවසානය ද ?

කතානයකතුමනි, අපේ අපේ දේශීය කර්මාන්තකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය වෙත ප්‍රශ්න යොමු කරනවා. අපි දේශීය කර්මාන්ත ආරක්ෂා කරගෙන ශක්තිමත් කළ යුතුයි, අපනයනය ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ වගේම පාරිභෝගිකයාත් ආරක්ෂා කළ යුතුයි.  මේ ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් සාර්ව ආර්ථික සැලසුමක් අවශ්‍යයි. අපි මතු කළ මේ ප්‍රශ්නවලට රජයෙන් කඩිනම් විසඳුම් බලාපොරොත්තු වෙනවා” විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website