පේරාදෙණිය විශ්වවිද්‍යාලය යළි COPE හමුවට: මූල්‍ය පරිපාලනය සහ පර්යේෂණ දීමනා පිළිබඳව අවධානය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව සලකා බැලීම සඳහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (අගෝ. 19) පාර්ලිමේන්තුවේදී රැස්විය. මේ පිළිබඳ සාකච්ඡා කිරීමට මේ මස 05 වැනිදා ද පේරාදෙණිය විශ්වවිද්‍යාලය COPE කාරක සභාව හමුවට කැඳවා තිබූ අතර එම සාකච්ඡාවේ දිගුවක් ලෙස දෙවැනි දිනටත් මෙසේ රැස් වුණි. 

මෙහිදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය පරිපාලනය, අපජල කළමනාකරණය, පර්යේෂණ දීමනා ගෙවීම, ආයතනික පාලනය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශ්වවිද්‍යාලයේ අපජල පද්ධතිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ අතර, නේවාසිකාගාර කිහිපයකින් බැහැර වන අපජලය මුදාහැරීම හේතුවෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබඳව සාකච්ඡා කෙරිණි. අපජල පද්ධතිය මහනුවර නාගරික අපජල ව්‍යාපෘතියට සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රමාදය හේතුවෙන් මුල් ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 464 සිට රුපියල් බිලියන 1.4ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය. ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සඳහා ජයිකා ආයතනය හරහා රුපියල් බිලියන 2ක ප්‍රතිපාදන ලබාගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ.

විශ්වවිද්‍යාලය සතුව පවතින බැංකු ගිණුම් 68ක් සහ විවිධ අරමුදල්වලට අදාළ ගිණුම් විශාල සංඛ්‍යාවක් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු විය. ඇතැම් ව්‍යාපෘති අවසන් වීමෙන් පසුවද ඒවාට අදාළ ගිණුම් වසා නොදමා පවත්වාගෙන යාම සහ අරමුදල් පිළිබඳ තොරතුරු මධ්‍යගතව නිරීක්ෂණය නොවීම සම්බන්ධයෙන් කාරක සභාව කරුණු විමසා සිටියේය.

පර්යේෂණ දීමනා ගෙවීම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර, පර්යේෂණ කළමනාකරණ කමිටුවේ අනුමැතියකින් තොරව සහ පර්යේෂණ වාර්තා ලබා ගැනීමකින් තොරව අනධ්‍යයන හා විධායක කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 59 දෙනෙකුට පර්යේෂණ දීමනා ගෙවා ඇති බව සාකච්ඡාවේදී අනාවරණය විය. එම නිලධාරීන් අතරින් 28 දෙනෙකු 2023 ජුනි 30 වන විටත් අදාළ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කර නොතිබූ බවද සඳහන් විය.

පර්යේෂණ දීමනා පර්යේෂණ කටයුතු සඳහාම යොදාගැනීම සහ ඒ සඳහා නියමිත ක්‍රමවේදයට අනුව පර්යේෂණ යෝජනා, ප්‍රගති වාර්තා සහ අවසන් වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාව කාරක සභාව අවධාරණය කළේය. පර්යේෂණ කටයුතු දිරිමත් කළ යුතු වුවද, පර්යේෂණ දීමනා අමතර වැටුපක් ලෙස භාවිත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

තවද, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ (DMS) අනුමැතියකින් තොරව පවතින තනතුරු සහ සිදුකර ඇති දීමනා ගෙවීම් සම්බන්ධයෙන්ද කරුණු විමසන ලදී. රාජ්‍ය මූල්‍ය රෙගුලාසි සහ පවතින නීති රීතිවලට අනුකූල නොවන සියලුම තනතුරු හා ගෙවීම් නීත්‍යානුකූලව නිරවුල් කිරීමට පියවර ගන්නා ලෙස කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

මේ අතර, විශ්වවිද්‍යාලයේ ඉදිරි සංවර්ධන සැලසුම් පැහැදිලි කාර්ය සාධන දර්ශක (KPIs) සහිතව සකස් කිරීමේ අවශ්‍යතාවද COPE කාරක සභාව අවධාරණය කළේය. අපජල හා කසළ කළමනාකරණය, නව සායනික බ්ලොක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද කාරක සභාව උපදෙස් ලබා දුන්නේය.

අදාළ විගණන විමසුම් සඳහා නිශ්චිත හා සෘජු පිළිතුරු ලබාදීම, සියලු අරමුදල් හා ගිණුම් පිළිබඳ නිසි මූල්‍ය තොරතුරු අනාවරණය කිරීම සහ විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ද කාරක සභාව අවධාරණය කළේය.

මෙම රැස්වීමට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ දයාසිරි ජයසේකර, නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර, සුනිල් රාජපක්ෂ,  චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත, සමන්මලී ගුණසිංහ, නීතීඥ නිලන්ති කොට්ටහච්චි, තිලිණ සමරකෝන්, සුදත් බලගල්ල සහ විශ්‍රාමික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රගීත් මධුරංග යන මහත්ම මහත්මීහු සහභාගී වූ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website