ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුනරුත්ථාපන රෝහල් 03ක් සහ ඒකක 05ක් ක්‍රියාත්මකයි – සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පුනරුත්ථාපන රෝහල් 03ක් සහ ඒ සම්බන්ධ ඒකක 05ක් තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. රාගම, දිගන (මහනුවර), සහ අම්පාරෙහි පුනරුත්ථාපන රෝහල් පිහිටා ඇති බවත්, ජයන්ති පුර (පොළොන්නරුව), වාරියපොල (කුරුණෑගල), කැන්දගොල්ල (බදුල්ල), මාන්කුලම් සහ මැලිබන් (ජාතික රෝහල ගාල්ල) ස්ථානවල පුනරුත්ථාපන ඒකක කියාත්මක වන බවත් හෙතෙම කිවේය

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පත්මනාදන් සත්‍යලිංගම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා ලබා දුන් පිළිතුරෙන් ඉහත කරුණු අනාවරණය විය.

රුපියල් මිලියන 182ක් සායන උපකරණ නිපදවීම සඳහා 2026 දී රාගම පුනරුත්ථාපන රෝහලටත්, රෝහල් පරිපාලනය යටතේ පවතින අනෙකුත් ඒකක සඳහා රෝහලට වෙන්වන ප්‍රතිපාදන තුළ එම ඒකකවල අවශ්‍යතාවන්ට ද ප්‍රතිපාදන වෙන් කෙරෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.

පුනරුත්ථාපන රෝහල්වල උපරිම සේවාවක් සැපයීම සඳහා මේ වනවිට සේවයේ නියුතු කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීය චිකිත්සක, භෞත චිකිත්සක, වාග් චිකිත්සක හා අංගාදේශක හා ඍජුකරණඥ සේවා කාණ්ඩවලට බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාගම පුනරුත්ථාපන රෝහල, දිගන පුනරුත්ථාපන රෝහල, කොළඹ ජාතික රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල යන රෝහල්වල කෘතීම අවයව නිපදවන අංශ පිහිටා ඇති බවත්, 2025 – 2027 මධ්‍යකාලීන අයවැය රාමුව මගින් රාගම පුනරුත්ථාපන රෝහල සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website