ශ්‍රී ලංකාවේ රජයේ සේවාවන් වෙත ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කරන ලද ආරක්ෂිත හා ඉතා පහසුවෙන් මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට GovPay යෙදුම භාවිතා කරනු ලබයි.
රිය පදවන්නන් විසින් රථවාහන වැරදි සිදුකල අවස්ථා වලදී පොලිසියෙන් නිකුත් කරනු ලබන ස්ථානීය දඩ පත්‍රිකා වලට අදාල දඩ මුදල ද මෙම ක්‍රමවේදය ඔස්සේ ගෙවීම් කිරීම සඳහා මහජනතාවට අවස්ථාව ලබා දී ඇති අතර මෙම ක්‍රමවේදයට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර මහජනතාව මුලා කරමින් මුදල් වංචා කල අවස්ථාවන් ගණනාවක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.
පසුගිය දින කිහිපයේදී ද මේ අන්දමින් ශ්‍රී ලංකා පොලිසිය නමින්, වේග සීමා උල්ලංඝණය කිරීම් හා එවැනි රථවාහන වැරදි සිදු කල බවට දැනුම් දී, දඩ මුදලක් ගෙවන ලෙස පවසමින් ව්‍යාජ කෙටි පණිවිඩ මහජනතාව වෙත ලැබෙමින් පවතින බවට තොරතුරු ලැබී ඇත.
ශ්‍රී ලංකා පොලිසිය රථවාහන වැරදි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදි අදාල රථවාහන වැරැද්ද සිදු කල පුද්ගලයාට අදාල ස්ථානයේදීම සිදුකල වරද සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර ස්ථානීය දඩ පත්‍රිකාවක් නිකුත් කිරීම හෝ වරදට අදාලව නඩු පැවරීම සිදු කිරීම දැනට සිදුවන ක්‍රියාවලිය වේ.
ආවේක්ෂණ කැමරා උපයෝගී කරගෙන පොලිසිය විසින් යම් අවස්ථාවක රථවාහන වැරදි හඳුනාගැනීමක් සිදු කල අවස්ථාවකදී වුවද ඒ සඳහා ක්‍රියාත්මක වීමේදී කෙටි පණිවිඩ යොමු කර අදාල පුද්ගලයන්ගේ බැංකු ගිණුම් තොරතුරු ලබා ගැනීමක් කිසිසේත් සිදු නොකරන අතර මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.
මේ සම්බන්ධව අවධානය යොමු කරන ලෙසත් කිසි විටක මෙවැනි ව්‍යාජ සබැඳි හරහා සම්බන්ධ වී රැවටීම් වලට ලක්වී මුදල් වංචාවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය විසින් දැනුම් දෙනු ලබන අතර මෙවැනි වංචනික ක්‍රියාවකට යම් අයෙකු මේ වන විටත් භාජනය වී ඇත්නම් ඒ සම්බන්ධව අදාල පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිරීමට කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.
සැ.යු :- GovPay යනු ඔබේ නිල බැංකු යෙදුම් (Banking Apps) හෝ මූල්‍ය තාක්ෂණ යෙදුම් (Fintech Apps) හරහා පමණක් ක්‍රියාත්මක වන ගෙවීම් සේවාවකි.
කෙටි පණිවිඩ (SMS) හෝ වෙනත් කිසිදු නිල නොවන මාර්ග හරහා ලැබෙන ගෙවීම් සබැඳි (payment links) භාවිතා කිරීමෙන් කරුණාකර වළකින්න.















