අගෝස්තු මාසය ‘සූකර මාසය’ ලෙස ප්‍රකාශයට පත්කරයි – සියලු විස්තර මෙන්න

අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුකොට ගෙන සූකර කර්මාන්තයට සිදුවූ බිඳවැටීම නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණය මත සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් සකස් කර  සත්ව පාලන ගොවීන් වෙත හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කටයුතු කර ඇත.

එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතාගේ අත්සනින් අද (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වේ.

මෙහිදී අගෝස්තු මාසය ‘සූකර රක්ෂණ මාසයක්’ ලෙස ප්‍රකාශයට පත්කර අභිජනන සූකර සතුන් රක්ෂණය සඳහා යොමු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සකස් කර ඇත. තව ද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වූ වාණිජ මට්ටමින් නඩත්තු කරනු ලබන සූකර ගොවිපළවල් හි අභිජනන සතුන් රක්ෂණයට ඇතුළත් කරගැනීම ද බලාපොරොත්තු වේ.

අප්‍රිකානු සූකර උණ වසංගතය, හදිසි අනතුරු හා වෙනත් සූකර රෝග හේතුවෙන් සිදුවන මරණ සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මෙහිදී රක්ෂණ කාලය තුළ අභිජනන සතුන් සඳහා මාස 06 සිට අවුරුදු 4 ½  දක්වා වාර්ෂිකව රු.200,00.00ක උපරිම රක්ෂිත මුදලකට  යටත්ව රක්ෂණ ආවරණ  ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

මෙම රක්ෂණ ක්‍රමවේදයට අදාළ තොරතුරු ඔබේ ප්‍රදේශයේ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාලය, පශු වෛද්‍ය නිලධාරී කාර්යාලය, සත්ව සංවර්ධන උපදේශන නිලධාරීන් මඟින් හෝ අපගේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1918 ඇමතීමෙන් ද ලබාගත හැකි බ ද අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website