අරලගංවිල පොලිස් විද්‍යාලයෙන් පුහුණුව ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් 295 දෙනෙකු පොලිස් සේවයට එක්වෙයි

මහජනතාවට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන පොලිස් සේවා වෙනුවෙන් කැපවන බවට දිවුරුම් දෙමින්, බියෙන් හා සැකයෙන් තොරව සාමකාමීව ජීවත්වීමට හැකි පරිසරයක් පවත්වාගැනීමේ වගකීමේ පෙරදැරි කරගනිමින් මාස 06 කට ආසන්න කාලයක් අරලගංවිල පොලිස් විදු මව් සෙවණේ නවීකරණය කරන ලද මොඩියුල 03ක් ඇතුලත් විෂය නිර්දේශයක් යටතේ සිය මූලික පුහුණුව සම්පූර්ණ කළ ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 295 දෙනෙක් ඔවුන් අනුයුක්ත කළ පොලිස් ස්ථාන වෙත 2026.11.22 වන දින සාඩම්බරව විසිර ගියහ.

විසිරයාමේ උළෙල මෙදින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්, නිවාස ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බි. සරත් මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් අරලගංවිල පොලිස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අභිමානවත් ලෙස පැවැත්වුනි.

නිලධාරීන් 295 දෙනෙකුගෙන් සමන්විත වූ ඇණි 08 කින් සමන්විත වූ මෙවර විසිරයාමේ උළෙලේ සම්මාන පෙළපාලිය ප්‍රධාන අණදෙන නිලධාරී ලෙස මෙහෙයවනු ලැබුවේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී රුචිර කරුණානායක මහතා විසින්ය.

දෙවන අණදෙන නිලධාරීවරයා ලෙස ඇල්පිටිය පොලිස් විද්‍යාලයේ ස්ථානාධිපති පාලන ප්‍රධාන පොලිස් පරීක්ෂක මිලාන් ඔසඳ මහතා කටයුතු කරන ලදී.

සම්මාන පෙළපාලිය නිමාවීමෙන් අනතුරුව පුහුණුකාලය තුල කැපී පෙනෙන අයුරින් විශිෂ්ඨ දස්කම් දැක්වූ නිලධාරීන් උදෙසා කාණ්ඩ 03 ක් යටතේ කුසලාන සහ සහතිකපත් ගරු අමාත්‍යතුමන්ගේ සහ පොලිස්පතිතුමන්ගේ සුරතින් පිළිගැන්වුනි.

*අති දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් – 108933 ජි.එම්.එම් නලීන් බන්ඩාර

*නීතිය විෂයන් පිළිබඳව දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් – 108943 ආර්.එම්.එන් සදීප දිල්ෂාන්

*දක්ෂතම ආධුනික පොලිස් කොස්තාපල් වෙඩික්කරු – 109024 එන්.එච්.එම් ශෂිත් හිරුෂාන් රණසිංහ

ඉන් අනතුරුව උත්සව සභාව ආරම්භකරමින් පුහුණු සහ උසස් පුහුණු දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා විසින් උත්සවයේ පිළිගැනීමේ කතාව පවත්වමින් පූජ්‍ය පක්ෂය, ප්‍රධාන ආරාධිත අමුත්තන් ඇතුලුව පැමිණ සිටි‌ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම රාජ්‍ය ආයතනයන්හි මුලසුන් හොඹවමින් උත්සවය නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ආධුනික නිලධාරීන්ගේ දෙමව්පියන් සහ හිතවතුන් ඇතුලු සියලුම දෙනා සාදරයෙන් පිළිගත්තේය.

උත්සව සභාව ආමන්ත්‍රණය කළ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා, නවක නිලධාරීන්ට සුභාසිංශන එක්කරමින් පොලිස් සේවයේ යහපත්ව සහ වෘත්තීයභාවයෙන් නිරතවීමෙන් ජීවිතයට එක්කර ගත හැකි වටිනාකම් පිළිබඳව පැහැදිලි කළ අතර අභිමානවත් පොලිස් සේවයේ විනයානුකූල නිලධාරීන් ලෙස මහජනතාවට අවංකව සේවය කිරීමට කැපවීමේ වැදගත්කම පෙන්වාදෙන ලදී.

විසිර යාමේ උළෙලේ සමාප්තිය ගාම්භීරත්වයෙන්, රසාස්වාදයෙන් සහ දර්ශනීයභාවයෙන් නිමකිරීමට එක්වන ලද පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් බටහිර තූර්ය වාදන කණ්ඩායම, පොලිස් නිල සුනඛ කොට්ඨාසය සහ හැකියාවන්ගෙන් සපිරි පොලිස් විද්‍යාල කණ්ඩායම් විදහා පෑ සන්දර්ශන, වාදන සහ නර්තනාංගයනගෙන් සමන්විත විය.

පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල මහතාගේ මෙහෙයවීම හා නායකත්වය යටතේ මෙම සියළු කටයුතු සාර්ථකව සංවිධානය වී තිබූ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය, අපරාධ වාර්තා කොට්ඨාසය හා පොලිස් සන්නිවේදන කොට්ඨාසය එක්ව SRI LANKA POICE නිල FACEBOOK පිටුව මගින් සජීවීව විසිරයාමේ උළෙලේ උත්කර්ෂවත් බව ආරම්භයේ සිට අවසානය තෙක් ‌විකාශය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website