
ඉදිකිරීම් කර්මාන්තයේ බහුතරයක් අමුද්‍රව්‍ය ආනයනය කරන බවට මතයක් සමාජය තුළ තිබේ. නමුත් සාමාන්‍ය නිවසක ව්‍යුහය සලකා බලන විට වැඩි වශයෙන් භාවිතා වන්නේ වැලි, සිමෙන්ති සහ බ්ලොක් ගල් යන අමුද්‍රව්‍ය තුනයි. මෙම අමුද්‍රව්‍ය අතරින් වැලි සහ බ්ලොක් ගල් ලංකාවේ නිෂ්පාදනය කළ හැකි අතර සිමෙන්තිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවේ. එසේම ඉදිකිරීම් අමුද්‍රව්‍ය සඳහා සැලකිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ආනයනය කිරීමට ද සිදුවේ.
නමුත් නිවසක් හෝ ගොඩනැගිල්ලක අවසන් අදියරේ දී, නැතහොත් එය අංග සම්පූර්ණ කිරීමේ දී බහුතරයක් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට සිදුවේ. මෙම භාණ්ඩ හෝ අමුද්‍රව්‍ය සඳහා වැඩි බදු ප්‍රතිශතයක් පැනවීම සිදුවේ. ඇතැම් අවස්ථාවල පැරා බදු ප්‍රතිශතය 70% දක්වා ඉහළ යන අවස්ථා ද තිබේ.
- බදු පිට බදු ගැසීම
මෙහි දී වැදගත් කරුණක් සිහියේ තබාගත යුතුය. ඒ අමුද්‍රව්‍ය වලට පනවන බද්ද සහ නිමි භාණ්ඩවල පනවන බද්දයි. මේ බදු ද්විත්වය තවත් කාණ්ඩ දෙකකට බෙදීමක් සිදුවේ. මූලික අමුද්‍රව්‍ය වලට (Raw Materials) පනවන තීරු බද්ද යළි කොටස් දෙකකට බෙදී යාම සිදුවේ. එම භාණ්ඩයේ දේශීය නිෂ්පාදනයක් තිබේ නම් පැරා තීරු බද්ද වැඩි අගයක් ගනී. එසේම ඉදිකිරීම් කටයුතුවල අවසන් අදියරේ දී භාවිතා කරන නිමි භාණ්ඩ වලට (Finish Products) සාමාන්‍යයෙන් ඉහළ බද්දක් පැනවෙන අතර මෙම භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කරන්නේ නම් තවත් ඉහළ බද්දක් පැනවීම සිදුවේ.
මෙය ‘ආරක්ෂණවාදී පියවරක්’ ලෙස සැලකිය හැකිය. මෙහි සරල අදහස වන්නේ ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනයේ දී පැරා බදු පැනවීමක් සිදුවන අතර දේශීය වශයෙන් එකී භාණ්ඩ නිෂ්පාදනය වන්නේ නම් ‘ඉහළ බද්දක්’ පැනවීම සිදුවේ.
මෙහි තවත් ලක්ෂණයක් වන්නේ ‘බදු උඩ බදු ගැසීම’ය. එක් එක් අදියරේ බදු පැනවීම් සිදුවෙමින් පැමිණෙන අවසාන අවස්ථාවේ දී සමස්ත බදු බර දැරීමට පාරිභෝගිකයාට සිදුවේ.
මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය ඉහළ අගයක් ගන්නා අතර ඊට ප්‍රධානතම හේතුව වන්නේ විවිධාකාරයේ පැරා තීරු බදු පැනවීම් සහ බදු පිට බදු රැසක් එක්වීමය.
මූලික අමුද්‍රව්‍ය (Raw Materials) සහ නිමි නිෂ්පාදන / Finish Products සම්බන්ධයෙන් බදු පැනවීම සිදුවන ආකාරය මෙහි දී හඳුනා ගත යුතුය.
- මූලික අමුද්‍රව්‍ය
ඉදිකිරීම් කර්මාන්තයේ මූලික අමුද්‍රව්‍යයක් වන යකඩ ආනයනය කිරීමට සිදුවේ. යකඩ වල මූලික අමුද්‍රව්‍ය වන්නේ steel billets ය. මේවා වෙනුවෙන් පනවන බද්ද සාපේක්ෂව අඩුය. නමුත් Steel Bar වලට අය කරන බද්ද තරමක් වැඩිය. එයට හේතුව වන්නේ ලංකාවේ Steel Bar නිෂ්පාදනය කරන කර්මාන්ත පැවතීමය. මෙහි අවසන් අදියරේ පවතින යකඩ ආශ්රිත නිෂ්පාදන සඳහා ද ඉහළ බදු පැනවීමක් සිදුවන අතර එම බද්ද ඉහළ යන්නේ ලංකාවේ එකී කර්මාන්ත පවතීම නිසාය. මෙම නිෂ්පාදන සඳහා බදු පිට බදු ගැසීමක් සිදුවන අතර අවසානයේ සමස්ත බදු ප්‍රතිශතය 85%ක් පමණ ඉහළ යාමක් සිදුවේ.
- නිමි නිෂ්පාදන
ඉදිකිරීම් කර්මාන්තයේ දී අවසන් නිමි අදියරේදී භාවිතා කරන ටයිල්, නාන කාමර උපාංග, ඇළුමිනියම් නිෂ්පාදන ආදි සියලු නිමි නිෂ්පාදනවලින් බහුතර ප්‍රමාණයක් ආනයනය කිරීම සිදුවේ.
මෙහි දී ඇළුමිනියම් ලංකාවේ නිෂ්පාදනය කරන හෙයින් ඒ වෙනුවෙන් පනවන බද්ද අඩුය. නමුත් අගය එකතු කළ ඇළුමිනියම් ආනයනය කරන්නේ නම් එහි බද්ද ඉතාමත් ඉහළය. එයට හේතුව වන්නේ දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට සිදුවීමය.
නමුත් මේ හරහා ප්‍රශ්න දෙකක් නිර්මාණය වේ. දේශීය වෙළෙඳපොළ ආරක්ෂා කළ යුතුය, එය පිළිගත යුතු, නිවැරදි තර්කයකි.
“නමුත් මගේ මතය වන්නේ තරඟකාරීත්වයක් තිබිය යුතුයි. එය අප සියලු දෙනාටම හොඳ දෙයක්. ඒකට හේතුව තමයි අවසන් පාරිභෝගිකයාට මේ තරඟකාරීත්වය වාසිදායකයි. ඒ නිසා අපි ආරක්ෂණවාදී පිළිවෙතකට යන්නේ නම් ඒ තුළ තරඟකාරීත්වයක් තිබේද කියා සොයා බැලිය යුතුයි. මෙහි දී අපේ නිෂ්පාදකයෝ කියන්නේ කුමක් ද ?, ‘මම කැමතියි තරඟ කරන්න, නමුත් ආනයනය කරන බොහෝ නිෂ්පාදනවල ප්‍රමිතිය බාලයි. අඩු මිලට මේ බාල නිෂ්පාදන අපේ වෙළෙඳපොළට පැමිණි විට ඒවා අපේ වෙළෙඳපොළ අල්ල ගන්නවා. ඒ නිසා අපි ආරක්ෂණවාදී පිළිවෙත් වලට යා යුතුයි’ කියන මේ තර්ක දෙක තිබෙනවා. නමුත් ලංකාවේ Anti-Dumping Laws කියලා එකක් තිබෙනවා. යම්කිසි ආකාරයකට ප්‍රමිතියෙන් තොර භාණ්ඩයක් ලංකාවට ආනයනය කර එය ලංකාවේ වෙළෙඳපොළ විකෘති කරනවා නම් මේ නීතිය යටතේ කටයුතු කළ හැකියි. නමුත් අපි ඉතාම දුර්වලයි. ඒකට හේතුව තමයි අපිට Aniti Competition Law එකක් නැහැ” මෙහි දී රොමාලි තුඩාවේ පැවසුවේ ‘මේය කිසිසේත් සරල ප්‍රශ්නයක් ලෙස නොසැලකිය යුතු බවයි’.
- දේශපාලනික ප්‍රශ්නයක්
බද්ද අඩු කිරීම ද පිළිතුරක්, විසඳුමක් නොවන බව කී ඇය මේ දෙස දේශපාලනිකව බැලිය යුතු බව ද පෙන්වා දුන්නාය.
මෙහි දී රොමාලි පෙන්වා දුන්නේ විද්‍යුත් උපකරණ සම්බන්ධයෙන් ද මෙම තර්කය අදාළ බවයි.
“විදුලි වයර්, කේබල් ආදිය ලංකාව තුළ නිෂ්පාදනය වෙනවා නම් ආරක්ෂණ බද්දක් ගහනවා. වායු සමීකරණ ආදිය සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට දාලා අති විශාල බද්දක් ගහනවා. ප්රශ්නය තමයි ලංකාවේ මේවා නිෂ්පාදනය කරන්නෙත් නැහැ. ඒ නිසා මේ නිෂ්පාදනවල මිල විශාල වශයෙන් ඉහළ යනවා. මගේ අදහස අනුව බද්ද කියන්නේ එක් සාධකයක්. නමුත් තවත් සාධක තිබෙනවා. මම ඒ ගැන තර්ක කරන්න කැමතියි. අපේ ඉදිකිරීම් කර්මාන්තයේ මිල වැඩි ඇයි කියන එක මේ අනුව මට පැහැදිලි කරන්න පුළුවන්.
- ලොකුම ප්රශ්නය
මේ බදු පැනවීම්වල විශාලතම බලපෑම එල්ල වන්නේ ලංකාවේ විදේශ විනිමය අනුපාතයට බවට රොමාලි පැවසුවාය. ආර්ථික අර්බුදය හමුවේ රුපියල අවප්‍රමාණය වීම සමඟ ඉදිකිරීම් අමුද්‍රව්‍ය මිල 80%කින් පමණ ඉහළ ගිය බව පෙන්වා දුන් ඇය මේ අවස්ථාවේ දී සිමෙන්ති සහ යකඩ මිල 300%කින් පමණ ඉහළ ගිය බව අනාවරණය කළාය.
මෙහි ඇය වැඩි දුරටත් පැහැදිලි කළේ ලංකාවේ ආර්ථික තත්ත්වය සහ විනිමය අනුපාතය ස්ථාවර තත්ත්වයක නොපැවතීම ඉදිකිරීම් කර්මාන්තයට ඍජුව බලපාන බවයි.
‘විනිමය අනුපාතය ඉහළ ගියා පස්සේ එය යළි පහළ බසින්නේම නැහැ. ඒ නිසා විනිමය අනුපාතය ඉහළ යාම ඉදිකිරීම් කර්මාන්තයට ඍජුව බලපානවා. ඒ වගේම මේ වන විට ඉන්ධන මිල ඉහළ යාමත් දැඩි බලපෑමක් කරනවා. ඉන්ධන මිල 25%කින් පමණ ඉහළ ගිය විට ඉදිකිරීම් කර්මාන්තයේ සෑම අදියරකම මිල 25% බැගින් වැඩි වෙනවා, හරියට වැලක් වාගේ වැඩි වෙනවා.” රොමාලි තුඩාවේ පැහැදිලි කළාය.
‘අන්තිමට මේ ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ සියලුම බර දරා ගන්නේ අන්තිමට පාරිභෝගිකයා” ඇය පැවසුවාය
- ශ්‍රම පිරිවැය
ආර්ථික අර්බුදයෙන් පසු ඉදිකිරීම් කර්මාන්තය තුළ බරපතළ ශ්‍රම හිඟයක් පවතින බව රොමාලි තුඩාවේ පැවසුවාය. ඇය පෙන්වා දුන්නේ ඉදිකිරීම් කර්මාන්තය ආශ්රිත පුහුණු ශ්‍රමිකයින් විශාල වශයෙන් මැදපෙරදිග රැකියා සඳහා යන බවයි.
“අපේ ශ්‍රම ඵලදායීතාවය කොහොමටත් අඩුයි. ශ්‍රම ඵලදායීතාවය අඩු වෙලා ශ්‍රම හිඟයකුත් වර්ධනය වන විට නැවත වරක් කම්කරු වැටුප ඉහළ යනවා” මෙහි දී ශ්‍රී ලංකාවේ ශ්‍රම ඵලදායීතාවය අඩුවීමට හේතු වශයෙන් ඇය දක්වා සිටියේ නිවාඩු ලබා ගන්නා ශ්‍රමිකයින් යළි සේවයට වාර්තා කිරීමට සැලකිය යුතු කාලයක් ගන්නා බවයි.
“සිංහල අවුරුද්දට ගමට ගිය ශ්‍රමිකයින් යළි සේවයට වාර්තා කරන්නේ වෙසක් එකත් පසු වුණාට පස්සේ” ඇය පෙන්වා දුන්නාය.
“ඒ කියන්නේ සති තුනක් වැඩ කරන්නේ නැහැ. ඉදිකිරීම් කර්මාන්තය කියන්නේ ‘කාලය තමයි සල්ලි’ කියලා කියන තැනක්. මේ නිසා අපට සැලසුම් කළ කාලය තුළ අදාළ ඉදිකිරීම් අවසන් කර ගන්න බැහැ. ඒකට හේතුව තමයි මිනිස්සු නැහැ. මිනිස්සු නැති හේතු දෙකක් තියෙනවා. එකක් බොහෝ අය පිටරට ගිහිල්ලා, අනෙක් පිරිස ඉදිකිරීම් කර්මාන්තයට එන්න කිසිම ආශාවක් නැහැ. ඒකට හේතුව අපේ ඉදිකිරීම් කර්මාන්තය ගැන වැරදි, ඍණාත්මක මතයක් තිබෙනවා” රොමාලි තුඩාවේ ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ තීරණාත්මක අභියෝගයක් ගැන වැඩි දුරටත් පැහැදිලි කරමින් පැවසුවාය.
- නිවසක් ඉදිකිරීමේ අවම පිරිවැය
මෙහි දී ඇය නිවසක් ඉදිකිරීමේ අවම පිරිවැය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළාය. එහි දී ඇය පැවසුවේ සාමාන්‍ය නිවසක් ඉදිකරන්නේ නම් එහි වර්ග අඩියක් රුපියල් 8000කින් පමණ නිම කළ හැකි බවයි. ඉහළ මධ්‍යම පාංතික නිවසක් ඉදිකිරීමේ පිරිවැය වර්ග අඩියකට රුපියල් 10,000-13,000 අතර පරාසයක පවතින බව ඇය මෙහි දී පෙන්වා දුන්නාය.
සුඛෝපභෝගී මහල් නිවසක් ඉදිකිරීමේ දී වර්ග අඩියක් රුපියල් 15,000-20,000 අතර පවතින බව රොමාලි තුඩාවේ සඳහන් කළාය.
නිවසක් ඉදිකිරීමේ ඒකක පිරිවැය ඉතාම ඉහළ බව පෙන්වා දුන් ඇය එය අඩුකර ගන්නා අකාරය ද පැහැදිලි කළාය.
“මේකට කළ යුතු මුල්ම දේ තමයි අපේ ලංකාවේ තිබෙන මතය ටිකක් වෙනස් කරගත යුතුයි. මුල් කාලයේ අවුරුදු 100කට, පරම්පරා හතකට ගෙවල් හදන්න ඕනෑ කියලා අදහසක් තිබුණා. නමුත් මේ කාලේ ඒ ආකාරයට ගෙවල් හදන්න අවශ්‍ය නැහැ. අඟල් නමයක බිත්ති, ඉහළම වර්ගවල ලී, දොරවල් හදන්නේ සම්පූර්ණයෙන්ම ලී වලින්. නිෂ්පාදනය කළ දොරවල් වලට අපි යන්නේ නැහැ. අපි හිතන්නේ ඒවා ගොඩක් බාලයි කියලා. අපි ගෙයක් හදන්නේ අති විශේෂ ආකාරයට, බොහෝමයක් විශේෂාංග එකතු කරලා. මේක ආණ්ඩුවත් කරන වැඩක්. නාගරික සංවර්ධන අධිකාරිය අඩු වියදම් නිවාස ඉදිකළත් ඉතාම ඉහළ මිල ගණන්වලට තමයි උපාංග ගන්නේ. ගුණාත්මකභාවය ආදි විවිධ හේතු නිසා ඉහළ මිල ගණන්වල භාණ්ඩවලට තමයි ඔවුන් අවධානය යොමු කරන්නේ. යම්කිසි මිල අඩු භාණ්ඩයක් දානවා නම් ඒකට අවුරුදු 25ක් වාගේ කාලයකට සහතිකයක් ඉල්ලනවා. සමාගමක් ලෙස අපිත් කැමතියි ඉහළම ගුණාත්මකයෙන් යුත් භාණ්ඩ දාලා සුපිරි නිවසක් ඉදිකරන්න. ස්ලැබ් එකක් ගහලා ඒකේ රෙදි එල්ලනවා නම් ඒක වැඩක් නැහැනේ. ඒ නිසා අපිත් හිතා ගන්න අවශ්‍යයි අපේ අයවැයට, අතේ තියෙන මුදලට ගැළපෙන ගෙයක් හදන්න. තරුණ කාලේ හරි, මැදි වියේ දී හරි ගෙයක් හදන්න පටන් ගෙන ඒකේ වැඩ අවසන් කරන්නේ විශ්‍රාම ගියාට පස්සේ හම්බවෙන මුදලින් නම් ඒකේ ප්‍රතිඵලය කුමක් ද ?”.
මෙහි දී රොමාලි පැවසුවේ නිවසක් යනු වත්කමක් මිස ආදායම් උපයන දෙයක් නොවන බවයි. එය නඩත්තු කිරීම ආදිය ද කළ යුතු බව පෙන්වා දුන් ඇය තමන් සතු සියලුම ඉතිරි කිරීම් වලින් වර්ග අඩියක් රුපියල් 13,000ක් පමණ වන නිවසක් ඉදිකිරීම නොවැදගත් බව අවධාරණය කළාය.
“මේ ගේ ඔයාගේ ළමයින්ට දෙන කොට ඒකට එයාලා ආසා බැහැ, ඒක පරණ තාලේ නිවසක් බවට පත්වෙලා. සමහර විට ඒ අය ඒ ගෙදර ඉන්නත් කැමති නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිවසක් ඉදිකරන විට අපේ මනස වෙනස් කර ගත යුතුයි. ඒක මේ වන විට පිටරටවල සිද්ධ වෙනවා. ඒ අය බොහෝ විට එකම ආකෘතියේ නිවාස ඉදිකරනවා. මේ හරහා ඉදිකිරීම් පිරිවැය විශාල වශයෙන් අඩුකර ගැනීමට ඔවුන් සමත් වෙලා තිබෙනවා. එකම ආකෘතියේ නිවාස හදනවා කියන්නේ කර්මාන්තකරුවන්ට ඉතාම පහසුවෙන් අමුද්‍රව්‍ය හසුරුවා ගන්න පුළුවන් තත්ත්වයක්. එහි වාසිය තමයි විශාල වශයෙන් ඉදිකිරීම් පිරිවැය අඩු වීම. ඒ නිසා ලංකාවේ අපි ඉදිකිරීම් ඒකකයක පිරිවැය අඩු කර ගැනීමට පුළුවන්”.
- අලෙවි මිල
මෙහි දී රොමාලි පෙන්වා දුන්නේ ලංකාවේ නිවාස ඉදිකිරීම් පිරිවැය මෙන්ම නිවාස අලෙවි මිල ද ඉතා ඉහළ බවයි. එයට හේතු වශයෙන් ඇය පෙන්වා දුන්නේ ඉඩම්වල මිල ඉතා විශාල අගයක් ගන්නා හෙයින් නිවසක අලෙවි මිල ‘හිතා ගත නොහැකි තරම් ඉහළ’ අගයක් ගන්නා බවයි.
මේ තත්ත්වය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ප්‍රබල අභියෝගයක් බව පෙන්වා දුන් රොමාලි තුඩාවේ මෙයට විසඳුම කොළඹින් බැහැර ප්‍රදේශවල නිවාස සහ දැවැන්ත මහල් නිවාස ඉදිකිරීම බව ද පැවසුවාය.
“කොළඹ වාගේ පැත්තක නිවසක් ඉදිකරන කෙනෙක් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඉඩමට මේ තරම් ඉහළ මිලක් ගෙවිය යුතු ද කියලා ඔහු නැවත නැවත කල්පනා කළ යුතුයි. මම කියන්නේ මහල් 6-7 නිවාස වඩාත් ලාභදායකයි කියලා. ඒ නිසා නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් අපි අපේ මතය වෙනස් කළ යුතුයි” ඇය අවධාරණය කළාය.
(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ 281 වැනි කතිකාවේ දී වාස්තු විද්‍යාඥ සුජිත් මොහොට්ටි මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරෙනි)
සටහන – තුෂාල් විතානගේ














