කොවිඩ් වලින් පස්සේ ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල 200%කින් ඉහළ ගිහින් – සුජිත් මොහොට්ටි, වාස්තු විද්‍යාඥ

ලංකාවේ විවාහ වන ඕනෑම යුවළකගේ ප්‍රධානතම සිහිනය වන්නේ නිවසක් ඉදිකර ගැනීමය. පැරා තීරු බදු – අධි මිලැති ගොඩනැගිලි ද්‍රව්‍ය හේතුවෙන් තරුණ පරපුරේ මේ සිහිනය බිඳ වැටී තිබේ. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවන්ට අනුව නිවසක් ඉදිකිරීමට තම ආදායමට සාපේක්ෂව වැඩිම මුදලක් වැය වන රටවල් අතර ලංකාව දෙවැනි ස්ථානයේ පසුවේ.

මීට දශක කිහිපයකට පෙර සාමාන්‍ය රාජ්‍ය සේවකයෙකුට වසරක් දෙකක් තුළ එම යුගයට සාපේක්ෂව සාමාන්‍ය තත්ත්වයේ නිවසක් ඉදිකර ගැනීමට හැකියාව තිබුණ ද වර්තමානය වන විට එය ද ‘කළ නොහැකි’ දෙයක් බවට පත්ව තිබේ.

ගොඩනැගිලි ද්‍රව්‍ය වෙත පනවා ඇති බොහොමයක් පැරා තීරු බදු කෙටි කාලීන ඒවා වන අතර රජයේ කෙටි කාලීන මුදල් අවශ්‍යතාව මත මෙම පැරා තීරු බදු පනවා ඇත. නමුත් ප්‍රශ්නය වන්නේ ඇතැම් අවස්ථාවල රජය මෙම පැරා තීරු බදු ඉවත් කළ ද තීරු බදු හේතුවෙන් ඉහළ මිල ගණන් යළි පහළ නොයාමය.

40-70%ක් ආණ්ඩුව දීම

“මෙතන තවත් ප්‍රශ්නයක් තිබෙනවා, මේ බදු ගහන්නේ එකක් පිට එකක්, ඒකෙන් විශාල බලපෑමක් වෙනවා. සාමාන්‍යයෙන් අපි ගණන් බලා තිබෙන ආකාරයට, නිවසක් ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 40%-70%ක් අතර ප්‍රමාණයක් ආනයනය කරන භාණ්ඩ මත පදනම් වෙනවා. අඩුම වියදමකින් නිවසක් ඉදිකළත් 40%ක් පමණ මේ පැරා තීරු බදු ගෙවීමට සිදුවෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් ලක්ෂ 10ක් වැය වන නිවසකට ලක්ෂ 15ක් පමණ මේ බදු නිසා වැය වෙනවා. මගේ අදහස අනුව අවම ප්‍රමාණයේ නිවසක් ඉදිකිරීමට නම් පවුලකට රුපියල් ලක්ෂ 2.5ක පමණ මාසික ආදායමක් තිබිය යුතුයි. එවැනි ආදායමක් තිබෙන පවුල් ලංකාවේ සමස්ත ජනගහනයෙන් 25%කට වඩා අඩුයි” කතිකාව සංවාදයට එක් වෙමින් වාස්තු විද්‍යාඥ සුජිත් මොහොට්ටි මහතා පැවසුවේය.

ලංකාවේ වෘත්තිකයින් සහ පුහුණු ශ්‍රමිකයින් ද ඇතුළු කම්කරු ප්‍රජාව පවා රට හැර යාමට මේ තත්ත්වය හේතු වී ඇති බව පැහැදිලි කළ සුජිත් මොහොට්ටි මහතා මනුෂ්‍යයෙකුගේ මූලික අවශ්‍යතාවක් වන නිවසක් ඉදිකර ගැනීම මෙතරම් අසීරු හා අභියෝගාත්මක එකක් වීම කණස්සල්ලට කරුණක් බව ද කීවේය.

කොවිඩ් වලට කලින්

සුජිත් මොහොට්ටි මහතා තවත් වැදගත් කරුණක් වෙත ද මෙහි දී අවධානය යොමු කළේය. ඔහු පැවසුවේ කොවිඩ් වසංගතයට පෙර ලක්ෂ 125කින් නිවසක් ඉදිකිරීමට සැලසුම් කළ පුද්ගලයෙකුට කොවිඩ් වලින් පසු එකී නිවස වෙනුවෙන්ම දැරිය යුතු ඉදිකිරීම් පිරිවැය ලක්ෂ 250 දක්වා ඉහළ ගිය බවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස එවැනි මුලපිරීමක් කළ බොහෝ දෙනෙක් මේ වන විට අඩක් නිම කළ නිවසකට හිමිකම් කියමින් දැඩි අපහසුතාවට පත්ව සිටින බව මොහොට්ටි මහතා සඳහන් කළේය.

“මේ බොහෝ පිරිසක් බැංකු වලින් ණය ලබා ගෙන තමයි නිවස ඉදිකිරීමට ගියේ. නමුත් ඔවුන් දැන් අඩක් නිම කළ නිවසට සම්පූර්ණ නිවසක් වෙනුවෙන් කළ යුතු ගෙවීමට අදාළ පොලිය ගෙවනවා. මේක කිසිවෙකුගේ අවධානය යොමු නොවන බරපතළ ගැටලුවක්” ඔහු අවධාරණය කළේය.

කොවිඩ් – 19 වසංගත සමයේ දී විශාල ලෙස ආනයනික යෙදවුම් මත පදනම් වූ ඉදිකිරීම් කර්මාන්තය දැඩි තර්ජනයකට ලක් වූ අතර, ආර්ථික අර්බුදය, රුපියල අවප්‍රමාණය වීම ආදි සාධක රැසක් මත ඉදිකිරීම් පිරිවැය වර්තමානය වන විට 200%කින් පමණ ඉහළ යාමක් වාර්තා කළ බව සුජිත් මොහොට්ටි මහතා පෙන්වා දුන්නේය.

දිට්වා නිවාස හානි

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවස ලක්ෂයකට අධික ප්‍රමාණයක් හානියට පත් වූ අතර තවත් දහස් ගණනක් සම්පූර්ණයෙන් විනාශයට පත්විය. අධික ඉදිකිරීම් වියදම ආදි හේතු නිසා මේ වන විටත් දිට්වා සුළි කුණාටුවෙන් විනාශයට පත් නිවාස සැලකිය යුතු ප්‍රමාණයක් යළි ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. මේ නිසා මෙම නිවාස වල ජීවත් වූ පසු දස දහස් ගණනක් දැඩි සේ පීඩාවට පත්ව තිබේ.

ටයිල් මාෆියාව

ලංකාවේ බිම් ඇතුරුම් ගල් හෙවත් ටයිල් සම්බන්ධ බරපතළ ගැටලුවක් පවතින බවත් විදේශ ගැනුම්කරුවන් මෙම ටයිල්වල මිල ගණන් විමසූ විට ‘ඔළුවේ අතගසා ගන්නා’ බවත් සුජිත් මොහොට්ටි පැවසුවේය.

ටයිල් වෙනුවෙන් දැරිය යුතු අධික වියදම හේතුවෙන් සංචාරක හෝටල් ආදි ඉදිකිරීම් කේෂේත්‍රය දැඩි පීඩනයකට ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

“අපි සිංගප්පූරුවේ ගණන් තමයි ටයිල්වලට ගෙවන්නේ. නමුත් සිංගප්පූරුවේ ඩොලර් 500ක් වන හෝටල් කාමරයක් අපට ඩොලර් 100කටවත් දෙන්න බැහැ” මෙම අධික මිල ගණන් සහ ඒ හේතුවෙන් සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය සිදුව ඇති දැඩි හානිකර බලපෑම පිළිබඳව සිය බලවත් කණස්සල්ල පළ කරමින් සුජිත් මොහොට්ටි මහතා සඳහන් කළේය.

කළ යුතු දේ කුමක් ද ?

රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව අවධාරණය කළ සුජිත් මොහොට්ටි මහතා මෙවැනි පියවර හරහා සිදුවන්වේ, විශේෂයෙන් රටට වැඩක් කළ හැකි තරුණ ප්‍රජාව විදේශ රැකියා සොයා හෝ පුරවැසිභාවය පතා විදේශ රටවලට සංක්‍රමණය වීම බව පෙන්වා දුන්නේය.

(සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සෑම සති අන්තයකම සංවිධානය කරන ‘කතිකාව’ වැඩසටහන්’ මාලාවේ 281 වැනි කතිකාවේ දී වාස්තු විද්‍යාඥ සුජිත් මොහොට්ටි මහතා ඉදිරිපත් කළ අදහස් ඇසුරෙනි)

සටහන – තුෂාල් විතානගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website