
මෙවැනි වංචනික හෝ සැක සහිත වෙළෙඳ ක්‍රියා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පාරිභෝගිකයින්ගේ දැඩි විශ්වාසය දිනාගත් මෙරට ප්‍රසිද්ධ ඇඟලුම් හා විලාසිතා වෙළෙඳසැල් ජාලයකින් මිලදී ගන්නා ලද පාවහන්වල බිල්පත් ඔස්සේ සිදුකළ දීර්ඝ පසු විපරමකින් අනතුරුව, 2026 සැප්තැම්බර් 11 දින දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය රහසිගත පාවහන් නිෂ්පාදනාගාරයක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට හැකි විය.
චීන අකුරු සහ “Made in China” ලේබලය සහිත පෙට්ටියක බහා තිබීම හේතුවෙන් ඉහළ මුදලක් ගෙවා මිල දී ගන්නේ ආනයනික පාවහන් යුවළක් යැයි පාරිභෝගිකයා විශ්වාස කළ හැකි වුව ද, විමර්ශනයේදී අනාවරණය වූ කරුණු ඊට හාත්පසින්ම වෙනස් විය.

විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව, නිමි පාවහන් සඳහා අදාළ ආනයන බදු මඟහැරීමේ අරමුණින් පාවහන්වල අඩි සහ අනෙකුත් කොටස් අමුද්‍රව්‍ය ලෙස වර්ගීකරණය කර වෙන වෙනම මෙරටට ගෙන්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. එම කොටස් දෙහිවල, කවුඩාන ප්‍රදේශයේ පිහිටි රහසිගත ස්ථානයකදී එකලස් කර අලවා සම්පූර්ණ පාවහන් බවට පත්කර ඇති බවට ද විමර්ශනවලදී කරුණු හෙළි වී ඇත.
එසේ මෙරටදී එකලස් කළ පාවහන්වල සැබෑ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනය සඳහන් නොකර “Made in China” ලෙස ලේබල් කර, ප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාල වෙත බෙදාහැර ඇති බවටද විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.

මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් පාරිභෝගිකයා භාණ්ඩයේ සැබෑ නිෂ්පාදන මූලාශ්‍රය පිළිබඳ නොමඟ යැවීමට ලක්විය හැකි අතර, පාවහන්වල දෝෂයක් ඇති වූ අවස්ථාවක වගකීම දරන නිෂ්පාදකයා හඳුනාගැනීමද අපහසු විය හැකිය. එමෙන්ම නීත්‍යානුකූලව බදු ගෙවමින් සාධාරණ වෙළෙඳාමේ නිරත වන දේශීය නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින්ටද මෙවැනි ක්‍රියා හේතුවෙන් අසාධාරණ වෙළෙඳ තරඟයකට මුහුණ දීමට සිදුවේ.
වැටලීමේදී පාවහන් යුගල් 1,000කට ආසන්න ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදනය/එකලස් කිරීම සඳහා යොදාගත් අමුද්‍රව්‍ය නිලධාරීන් විසින් භාරයට ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර, එම විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
වෙළෙඳපොළේ නීත්‍යානුකූල නොවන වෙළෙඳ තරඟකාරීත්වය මැඩපැවැත්වීමටත්, පාරිභෝගිකයින් නොමඟ යවන වෙළෙඳ ක්‍රියා වැළැක්වීමටත්, පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් මෙවැනි බිල්පත් හා සැපයුම් දාමය ඔස්සේ සිදුකරන පසු විපරම් වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
මෙවැනි වංචනික හෝ සැක සහිත වෙළෙඳ ක්‍රියා පිළිබඳ තොරතුරු ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
සංස්කාරක සටහන – ඍජු උපුටා ගැනීම – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිල ෆේස්බුක් පිටුවෙනි.














