2026 වසරේ මේ දක්වා සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් අත්බෝම්බ ප්‍රහාර හයක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. ඩුට්ලර් මහතා පැවසීය.
මෙම අත් බෝම්බ ප්‍රහාරවලින් මහජන අවධානය දිනාගත් මෑත කාලීන සිදුවීම වූයේ දෙහිවල නිවසකට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයකින් ළමුන් දෙදෙනෙකු මිය යාම බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවස වැරදීමකින් ඉලක්ක කර ගත් බවට විමර්ශනවලින් හෙළි වී ඇති බව ද පැවසුවේය.
අත්බෝම්බ ප්‍රහාර වර්ධනය වීමට හේතු පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ සංවිධානාත්මක අපරාධ කල්ලි බර ගිනි අවිවලට වඩා පහසුවෙන් රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය වෙත යොමුවීම වැඩි වී ඇති බවයි. මේ හේතුව මත අත්බෝම්බ සහ අනෙකුත් බර අවි අත්අඩංගුවට ගැනීමේ උත්සාහයන් පොලිසිය වේගවත් කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් හෙළි කළේය.
කළු වෙළඳපොලේ අත්බෝම්බ පහසුවෙන් ලබා ගත හැකි බවට මාධ්‍ය තුළ පැතිර යන ප්‍රකාශ ද ඔහු ප්‍රතික්ෂේප කළ අතර, එවැනි වාර්තා හුදෙක් “ඕපාදූප” පමණක් බව ද ඔහු පැවසීය.















