කොළඹ සහ කරාපිටියේ MRI යන්ත්‍රවලින් උපරිම ප්‍රයෝජන නොගන්නේ ඇයි ? – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රශ්න කරයි

කොළඹ ජාතික රෝහලේ රුපියල් මිලියන 400ක් පමණ වටිනා MRI යන්ත්‍ර කිහිපයක් තිබුණ ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් වන රෝගීන්ට MRI ස්කෑන් සඳහා දින දෙක තුනක් බලා සිටීමට සිදුවන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.

කොළඹ සහ කරාපිටිය ජාතික රෝහල්වල ඇතැම් ඒකකවල දිනකට සිදු කරන MRI ස්කෑන් සංඛ්‍යාව 10 ත් 12 ත් අතර ප්‍රමාණයකට සීමා කර ඇති බවත්, එමඟින් රෝගීන්ට දැඩි දුෂ්කරතා ඇති වන බවත් ඔහු සඳහන් කළේය.

සීමිත සේවාවන් හේතුවෙන් පීඩාවට පත් වූවන් අතර 81, 9 සහ 10 වාට්ටුවලට මෙන්ම ස්නායු කම්පන සහ ස්නායු ශල්‍ය ඒකකවලට ඇතුළත් කර ඇති රෝගීන් ද සිටින බව ඔහු පැවසීය.

මිල අධික MRI උපකරණ උපරිම ධාරිතාවයෙන් භාවිතා නොකරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

“කොළඹ ජාතික රෝහලේ ඇති MRI යන්ත්‍ර හතර ආසන්න වශයෙන් රුපියල් මිලියන 400ක් පමණ වටිනවා. නමුත් ඒවා ඵලදායී ලෙස භාවිතා කරන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස රෝහල තුළ ස්කෑන් පරීක්ෂණ ලබා ගත නොහැකි රෝගීන්ට පෞද්ගලික සේවාවන් සොයා යාමට සිදු වෙනවා. එහිදී MRI ස්කෑන් පරීක්ෂණයක් සඳහා රුපියල් 100,000 ක් පමණ වැය වෙනවා. කොළඹ පමණක් නොවෙයි ගාල්ල ජාතික රෝහලේ ද මෙවැනිම තත්වයක් වාර්තා වෙනවා. රෝගියෙකු වාට්ටුවකට ඇතුළත් කර දින තුනක් රැඳී සිටින නමුත් MRI ස්කෑන් පරීක්ෂණයක් ලබා ගත නොහැකි නිසා සැත්කම සිදු කළ නොහැකයි. අවසානයේදී, දුප්පත් රෝගියෙකුට වෙනත් ස්ථානයක ස්කෑන් පරීක්ෂණය සිදු කිරීම සඳහා රුපියල් 100,000 ක් ගෙවීමට සිදු වෙනවා. රුපියල් මිලියන 400 ක යන්ත්‍රයක් තිබියදී මෙය පිළිගත නොහැකියි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website