ජලභීතිකා රෝගය වැළඳුණු රෝගීන් සඳහා ප්රතිකාර සහ එන්නත්කරණ කටයුතු වෙනුවෙන් 2025 වර්ෂයේදී රු. 655,824,000ක මුදලක් වැය කර ඇති බව සෞඛ්ය සහ ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරකින් අනාවරණය විය.
පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් හේමන්ත මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්රශ්නවලට අමාත්යවරයා විසින් ලබාදුන් පිළිතුරේ මේ බව සඳහන් වේ.
එම පිළිතුරට අනුව, 2025 වර්ෂයේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැළඳී පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.
මේ අතර, 2025 වර්ෂයේ මහජන සෞඛ්ය පශු වෛද්ය සේවා සඳහා වෙන් කර තිබූ මුළු මුදල රු. මිලියන 220ක් බව ද අමාත්යවරයා පිළිතුරෙහි සඳහන් වෙයි.
මහජන සෞඛ්ය පශු වෛද්ය සේවා අංශය මඟින් ක්රියාත්මක කරනු ලබන ජලභීතිකා මර්දන වැඩසටහන සඳහා 2026 වර්ෂයට රු. මිලියන 51ක මුදලක් වෙන් කර තිබෙන බව ද කියවෙයි. මෙම වැඩසටහන යටතේ සුනඛයන් එන්නත්කරණය, වන්ධ්යාකරණය සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ක්රියාකාරකම් රැසක් ක්රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන යටතේ 2026 අගෝස්තු 30 වන විට දිස්ත්රික්ක හතරක වීදි සුනඛයන් 5,951 දෙනෙකු වන්ධ්යාකරණයට ලක් කර ඇති අතර, අනෙකුත් දිස්ත්රික්කවලද ජලභීතිකා මර්දන වැඩසටහන ක්රියාත්මක වෙමින් පවතින බව අමාත්යවරයාගේ පිළිතුරේ වැඩිදුරටත් සඳහන් වේ.
















