දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් සිට ආවේක්ෂණ පද්ධතිය හරහා නිරීක්ෂණය වන බව වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා පැවසුවේය.
ජනතාව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බව කී කරුණාපේම මහතා ගර්භනී මාතාවන්, කුඩා ළමුන් ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘදරෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පුද්ගලයින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළේය.
ඊයේ (13) සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්යවරයා පැවසුවේ, වසංගත රෝග විද්යා අංශය පසුගිය සතිය වන විට ගන්නා ලද සාම්පලවලින් 35%ක් පමණ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බවයි.
“ඒ කියන්නේ මේ දවස්වල පැතිරිලා යන කැස්ස, හෙම්බිරිසාව, උණ වගේ රෝගවල බොහෝවිට අපි ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයක් ලෙස අපි දකිනවා. හැබැයි මේ රෝගි තත්ත්වය දවස් තුන හතරකින් බොහෝ වෙලාවට ප්රතිකාර සමඟ විශාල ගැටලුවක් නැතිව සුව වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නෑ’ කරුණාපේම මහතා පැවසුවේය.
නමුත් ඔහු මෙහි දී අවධාරණය කළේ ගර්භනී මාතාවන්, කුඩා ළමුන් ඒ වගේම වැඩිහිටි අය, දියවැඩියාව, හෘදරෝග, වකුගඩු රෝග වැනි බෝ නොවන රෝග පවතින පුද්ගලයින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි.
“මේ අයට ඉන්ෆ්ලුවෙන්සා ආවොත් සමහර විට සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුයි”.මේ
ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිරී යන ආකාරය ගැන පැහැදිලි කරමින් කරුණාපේම මහතා පැවසුවේ කැස්ස, සෙම්ප්රතිශ්යාව ආශ්රිතව පිටවෙන බිඳිති මාර්ගයෙන් එය ව්යාප්ත වන බවයි.
“ඒ වගේම ස්පර්ශයෙනුත් මේ රෝගය බෝවිය හැකියි. මේ රෝගය හැදුනම දවස් දෙක තුනක් ගෙදර ඉඳලා විවේක ගැනීම වැදගත්. ඒ වගේම නිතර සබන් දාලා අත්සේදීම හා රෝගය වැළඳුන කෙනෙක් නම් මුඛ ආවරණ පැළඳීම තුළින් ඉන්ෆ්ලුවෙන්සා බෝවිම වළක්වා ගැනීමට හැකියාව තියෙනවා.” වසංගත රෝග විද්යා අංශයේ ප්රධාන වසංගත රෝග විද්යාඥ විශේෂඥ වෛද්ය පාලිත කරුණාපේම මහතා පැවසුවේය.
















