ප්රජා වෛද්ය විශේෂඥ ඔනාලි රාජපක්ෂ – ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන
රෝගීන්ට විශාල කාර්යභාරයක් වගේම වගකීමක් තිබෙනවා. මුලින්ම තමන්ට අවදානමක් ඇති බව තේරෙණවා නම් අවශ්ය පරීක්ෂණවලට යොමු වෙලා රෝග තත්ත්වය හඳුනා ගත යුතුයි. යම්කිසි ආකාරයකින් තමා ක්ෂය රෝගියෙකු ලෙස තහවුරු වුවහොත් ලබා දෙන ඖෂධ නිතිපතා, අඛණ්ඩව පාවිච්චි කළ යුතුයි.
- ක්ෂය රෝගය වැළැක්වීම සහ නිවාරණ ප්රතිකාර ක්රම පිළිබඳ පුළුල් පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
අපි මුළින්ම අපට ක්ෂය රෝගය වැළදෙන්නේ කෙසේ ද යන්න අවබෝධ කර ගත යුතුයි. ක්ෂය රෝගය වැළදෙන්නේ ‘Mycobacterium tuberculosis’ නම් බැක්ටීරියාව නිසා. මේ බැක්ටීරියාව අපේ ඇඟ තුළ සිටිනවා. ලෝක සෞඛ්ය සංවිධානය සොයා ගෙන ඇති ආකාරයට ලෝක ජනගහනයෙන් 25%කගේ සිරුර තුළ Mycobacterium tuberculosis’ නම් මේ බැක්ටීරියාව සිටිනවා. නමුත් මේ පිරිසෙන් 23%කට පමණ ක්ෂය රෝගය වැළදෙන්නේ නැහැ. ක්ෂය රෝගය වැළදෙන අවදානම් කාණ්ඩ කිහිපයක් සිටිනවා. ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සිරුර තුළ සිටින පුද්ගලයින්ගෙන් 10%කට පමණ පිරිසකට පමණයි ක්ෂය රෝගය වැළදෙන්නේ. නමුත් අධි අවදානම් කාණ්ඩ ලෙස හඳුන්වන පිරිස අතර මෙම අවදානම 10%කට වඩා වැඩියි. උදාහරණයක් ලෙස HIV ආසාදිත පුද්ගලයෙකුට මෙම බැක්ටීරියාව ආසාදනය වුණොත්, ඔහුට ක්ෂය රෝගය වැළදීමට ඇති අවදානම 10%කට වඩා වැඩියි.
ඒ වගේම තවත් අවදානම් පිරිසක් සිටිනවා. ඔවුන් තමයි පෙණහළු ආශ්රිත ක්ෂය රෝගය වැළඳී සිටින පුද්ගලයින්ගේ ළඟම ආශ්රිතයින්. ඒ වගේම ප්රතිශක්තිකරණය අඩු හෝ ඒ සඳහා යම් යම් ඖෂධ භාවිතා කරන පුද්ගලයින් ද අවදානම් පුද්ගලයින් ලෙස සැලකිය හැකියි. මෙවැනි පුද්ගලයින් තුළ සිදුවෙන්නේ, ඔවුන්ගේ ශරීරය තුළ මේ බැක්ටීරියාව තිබෙනවා, ඔවුන්ගේ ප්රතිශක්තිකරණය දුර්වල වන විට මේ බැක්ටීරියාව සක්රීය වෙලා ක්ෂය රෝග තත්ත්වය ඇති කරනවා.
ඒ වගේම අවයව බද්ධ කළ පුද්ගලයින් ද අවදානම් පිරිසක් ලෙස සැලකිය හැකියි. ඊට හේතුව වන්නේ ඔවුන් ශරීරයේ ප්රතිශක්තිය අඩු කිරීමට යම් යම් ඖෂධ ලබා ගන්නා නිසා ක්ෂය රෝග අවදානමට ලක්ව සිටිනවා. දීර්ඝ කාලීන වකුගඩු රෝගීන් ද ක්ෂය රෝගය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පිරිසක් ලෙස සැලකිය හැකියි.
හන්දිපත් රෝග තිබෙන පුද්ගලයින් ද ඒ වෙනුවෙන් යම් යම් ඖෂධ ලබා ගන්නවා. මෙම පුද්ගලයින් ද ක්ෂය රෝගය ආසාදනය වීමේ ඉහළ අවදානමක් ඇති පුද්ගලයින් ලෙස සැලකෙනවා.
මීට අමතරව අපේ පෙනහළුවලට යම්කිසි බලපෑමක් සිදුවෙලා තිබෙනවා නම් ඔවුන් ද Mycobacterium tuberculosis බැක්ටීරියාව ශරීර ගත වුණොත් ක්ෂය රෝගය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් බවට පත්වෙනවා.
දීර්ඝ කාලයක් මෙම බැක්ටීරියාවට විවෘත වීම නිසා ක්ෂය රෝගය ආසාදනය වීමේ හැකියාව තිබෙන තවත් පුද්ගලයින් පිරිසක් සිටිනවා. ඔවුන් අතර බන්ධනාගාර ගතකර සිටින, සිරමැදිරිවල සිටින පුද්ගලයින් වැඩි අවදානමක් ඇති පුද්ගලයින් බවට පත්වෙනවා. ඒ වගේම වැඩිහිටි නිවාස, නේවාසිකාගාර වල සිටින පුද්ගලයින් අතර ද ක්ෂය රෝගය ව්යාප්ත වීමේ වැඩි අවස්ථාවක් තිබෙනවා. එහි අදහස වෙන්නේ සීමිත ඉඩකඩ සහ සීමිත වාතාශ්ර ප්රවේශයක් සහිත ස්ථානයක දීර්ඝ කාලයක් සිටින පුද්ගලයින්ට ද Mycobacterium tuberculosis බැක්ටීරියාව ශරීර ගත වුණොත් ක්ෂය රෝගය ආසාදනය වීමේ වැඩි අවකාශයක් තිබෙනවා.
- ක්ෂය රෝග නිවාරණ ප්රතිකාර ක්රම මොනවාද ?, ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ?
Mycobacterium tuberculosis බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වූ පමණින් ක්ෂය රෝගය ආසාදනය නොවන බව මම මුලින් සඳහන් කළා. එහි දී ක්ෂය රෝගය ආසාදනය වෙන්නේ 10%කට පමණ පිරිසකට පමණයි. නමුත් අවදානම් කාණ්ඩයේ සිටින පිරිසට මේ අවදානම වැඩියි.
මේ බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වෙලා ක්ෂය රෝගය ආසාදනය කිරීම වළක්වා ගැනීමට අපට කළ හැකි දේවල් තිබෙනවා ද ? කියන ප්රශ්නය ඇති වෙන්න පුළුවන්. ඔව්, බොහෝ දේ කළ හැකියි. ඒකට ‘ක්ෂය රෝග නිවාරණ ප්රතිකාර’ කියලා අපි කියනවා.
Mycobacterium tuberculosis බැක්ටීරියාව අපේ ශරීරයට ඇතුළු වුණාට පස්සේ ක්ෂය රෝගය ඇති කරන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ කරුණ අවධානයට ගෙන ක්ෂය රෝග නිවාරණ ප්රතිකාර ක්රමය මේ වන විට හඳුන්වා දී තිබෙනවා.
මුලින්ම Mycobacterium tuberculosis බැක්ටීරියාව අපේ ශරීරය තුළ සිටිනවා ද කියා සොයා බලනවා. ඊට පසුව අදාළ පුද්ගලයාට ක්ෂය රෝගය ආසාදනය වී තිබේ ද, නැද්ද කියා සොයා බලනවා. මේ කාරණා දෙකම සොයා ගත් පසු ශරීරය තුළ සිටින ක්ෂය රෝග කාරක බැක්ටීරියාව විනාශ කිරීමට අවශ්ය ඖෂධ ලබා දෙනවා. මෙසේ ඖෂධ ලබා දෙන්නේ මේ බැක්ටීරියාව තවත් කාලයක් අපේ සිරුර තුළ සිටීමෙන් ක්ෂය රෝගය ආසාදනය වීමට හැකියාවක් තිබෙන නිසා එ් රෝග කාරක බැක්ටීරියාව විනාශ කිරීමටයි.
මෙහි දී අපි අධි අවදානම් කාණ්ඩවලට අයත් පුද්ගලයින් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. මෙම පුද්ගලයින් තුළ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සිටිනවා කියා සොයා බලා, ඔවුන්ගේ ශරීරය තුළ බැක්ටීරියාව සිටිනවා නම්, ඒ බැක්ටීරියාව විනාශ කිරීමට අවශ්ය ඖෂධ ලබා දෙනවා.
ශරීරය තුළ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සිටිනවා ද යන්න පරීක්ෂා කිරීම සිදුවන්නේ ඉතාම සරල ක්රමයක් මඟින්. අපි සම මතුපිට කුඩා පරීක්ෂණයක් මඟින් ඒක කරනවා. ඒ හරහා අපේ ශරීරය තුළ බැක්ටීරියාව සිටිනවා ද, නැද්ද ? යන්න තහවුරු කර ගැනීම සිදුවෙනවා.
යම්කිසි ආකාරයකින් ශරීරය තුළ ක්ෂය රෝග කාරක බැක්ටීරියාව සිටින බව තහවුරු වුණොත් එය විනාශ කිරීමට ඉතා සරල ප්රතිකාර ක්රම තිබෙනවා. විශේෂයෙන් මේ සඳහා අයිසෝනියාසිඩ් කියලා ඖෂධයක් තිබෙනවා. මේ ඖෂධය සතියකට වරක් සති 12ක් (මාස තුනක්) ලබා ගැනීම තුළින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව විනාශ කර දැමීමට හැකියාව ලැබෙනවා. මේ හරහා ක්ෂය රෝගයෙන් වැළකෙන්න පුළුවන්කම තිබෙනවා.
- ක්ෂය රෝගය වළක්වා ගැනීමේ දී සහ නිවාරණයේ දී රෝගීන්ට යම්කිසි කාර්යභාරයක් තිබෙනවා ද ?, ඔවුන් අවධානය යොමු කළ යුතු කරුණු මොනවා ද ?
රෝගීන්ට විශාල කාර්යභාරයක් වගේම වගකීමක් තිබෙනවා. මුලින්ම තමන්ට අවදානමක් ඇති බව තේරෙණවා නම් අවශ්ය පරීක්ෂණවලට යොමු වෙලා රෝග තත්ත්වය හඳුනා ගත යුතුයි. යම්කිසි ආකාරයකින් තමා ක්ෂය රෝගියෙකු ලෙස තහවුරු වුවහොත් ලබා දෙන ඖෂධ නිතිපතා, අඛණ්ඩව පාවිච්චි කළ යුතුයි.
සාමාන්යයෙන් සති 02-03ක් අඛණ්ඩව ප්රතිකාර ලබා ගැනීම තුළින් ක්ෂය රෝගියෙකුගෙන් තවත් නිරෝගී පුද්ගලයෙකුට රෝග කාරක බැක්ටීරියාව පැතිරීම අඩු වෙනවා. නිට්ඨාවට සුවවීම සඳහා මාස හයක් (06) ප්රතිකාර ගැනීම අනිවාර්යයි.
- ක්ෂය රෝග නිවාරණයේ දී දරුවන් සම්බන්ධ තත්ත්වය ගැන පැහැදිලි කිරීමක් කළ හැකි ද ?
ක්ෂය රෝගියෙකුගේ ළඟම ආශ්රිත දරුවා අවදානම් කාණ්ඩයේ දරුවෙකු බවට පත්වෙනවා. දරුවන්ට ක්ෂය රෝගය ආසාදනය විය හැකියි වගේම ඔවුන්ගේ ශරීරයෙත් රෝග කාරක බැක්ටීරියාව තිබෙන්න පුළුවන්. අපි දරුවෙකුගේ උපතේ දීම BCG එන්නත ලබා දෙනවා. එයත් ක්ෂය රෝගය වළක්වා ගැනීමේ එක් ක්රමයක්. නමුත් එයින් වළක්වන්නේ ශරීර පුරා පැතිරුණු, මොළය ආශ්රිත ක්ෂය රෝගය වැනි භයානක ක්ෂය රෝගී තත්ත්වයන් පමණයි. ඒ හැරෙන්න වෙනත් ක්ෂය රෝගී තත්ත්වයන් වැළදෙන්නත් පුළුවන්, බැක්ටීරියාව ශරීර ගත වෙන්නත් පුළුවන්. මේ එන්නත ලබා දෙන නිසා අවුරුදු පහට (05) අඩු දරුවන්ට සම මත කරන පරීක්ෂණය සිදුකරන්නේ නැහැ. ඔවුන්ට ක්ෂය රෝගය ආසදනය වූ බව තහවුරු වූ පසු අපි කෙළින්ම රෝග නිවාරණ ප්රතිකාර ලබා දෙනවා. අවුරුදු පහට වැඩි දරුවන්ට සම මත කරන පරීක්ෂාව කරලා, ඔවුන්ටත් නිවාරණ ප්රතිකාරය ලබා දෙනවා.
- ක්ෂය රෝගියෙකු යම්කිසි ආකාරයකින් සමාජය සමඟ මිශ්ර වීමට සිදු වුණොත් ඔහු අනුගමනය කළ යුතු වැදගත්ම පියවර මොනවාද ?
ක්ෂය රෝගියෙකු කැස්ස විට Mycobacterium tuberculosis බැක්ටීරියාව ඉතාම සියුම් බිඳිති ලෙස තමයි ඉදිරියට විසිරෙන්නේ. එම බැක්ටීරිටාව වැඩි කාලයක් වාතයේ රැඳී සිටිනවා. ඒ අනුව ක්ෂය රෝගය ආසාදිත පුද්ගලයෙකු මිනිසුන් ගැවසෙන විවෘත පරිසරයක දී කැස්ස විට බැක්ටීරියාව මිශ්ර වාතය බොහෝ වේලාවක් වාතයේ රැඳී තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම මිනිසුන් ගැවසෙන විවෘත අවකාශයක දී කසින විට ආරක්ෂිත ආකාරයට, මුව ආවරණය කරගෙන කැස්ස කළ යුතුයි. ඒ හරහා ක්ෂය රෝග කාරක බැක්ටීරියාව මිශ්ර කෙළ බිඳිති වාතයට මිශ්ර වීම වළක්වා ගන්න පුළුවන්.

















