දැනට අලුතින් ආරම්භ කළ නියමු ව්යාපෘතියක් වන නව රියදුරු බලපත්ර දඩුවම් ලකුණු ක්රමයේ ප්රධාන අරමුණ, නිතර මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩුවම් දීම බව අමාත්ය බිමල් රත්නායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
ලොව පුරා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා භාවිත කරන ප්රචලිත ක්රමවේදයක් වන මෙම ක්රමවේදය පිළිබඳව මෙරට මහජනතාව දැනුවත් කිරීම සහ එයට හුරු කිරීම සඳහා වන මාස හයක නියමු ව්යාපෘතිය ඒ අනුව 2027 මාර්තු 31 දක්වා ක්රියාත්මක වේ.
යෝජිත ක්රමවේදය යටතේ රියදුරෙකු සිදු කරන රථවාහන වරදෙහි ස්වභාවය අනුව රියදුරාගේ රියදුරු වාර්තාවට ලකුණු එකතු කෙරේ. එම ලකුණු සංඛ්යාව 30 දක්වා ළඟා වූ විට පද්ධතිය මඟින් අදාළ රියදුරු බලපත්රය ස්වයංක්රීයව අත්හිටුවීමට නියමිතය.
බලපත්රය අත්හිටුවීමෙන් අනතුරුව අදාළ රියදුරු එය ළඟම ඇති පොලිස් ස්ථානයට භාරදිය යුතුය. සාමාන්යයෙන් වසරක කාලයක් සඳහා බලපත්රය අහිමි වන අතර, නියමිත පුහුණු වැඩසටහන් සාර්ථකව අවසන් කිරීමෙන් එම කාලය මාස තුනක් දක්වා අඩු කරගැනීමට අවස්ථාව සැලසෙන බව ද මෙහිදී සාකච්ඡා විය.
ඒ අනුව, රථවාහන වරදක් සිදු කර අදාළ දඩ මුදල පොලිසියට ගෙවීමෙන් අනතුරුව, එම වරද වෙනුවෙන් ලකුණු එකතු වීමට නියමිතව තිබූ බව දැනුම් දෙමින් රියදුරුගේ ජංගම දුරකථනයට කෙටි පණිවුඩයක් (SMS) යැවීමට නියමිතය.
මෙහි අරමුණ මහජනතාව බිය ගැන්වීම නොව, නව ක්රමවේදය පිළිබඳව දැනුවත් කරමින් රථවාහන නීතිවලට අනුකූලව කටයුතු කිරීමට රියදුරන් දිරිගැන්වීම බව අවධාරණය කෙරිණි.
රියදුරු බලපත්ර කාඩ්පත් සහ වාහන අංක තහඩු මුද්රණය කර නිකුත් කිරීමේදී පවතින විශාල ප්රමාදය ප්රවාහන ක්ෂේත්රයේ ප්රධාන පරිපාලනමය ගැටලුවක් ලෙස අමාත්යවරයාගේ අවධානයට ලක් විය.
මුද්රණ යන්ත්ර සහ හිස් කාඩ්පත් හිඟවීම හේතුවෙන් රියදුරු බලපත්ර කාඩ්පත් 673,000ක පමණ ගොඩ ගැසී (backlog) පවතින බවත් මෙහිදී අනාවරණය විය.
ඇණවුම් කරන ලද කාඩ්පත් මිලියනයක තොගය ජනවාරි වන විට අවසන් වන බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (විශ්රාමික) තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා සඳහන් කළේය.
නව කාඩ්පත් මිලියන 2ක් සැපයීම සඳහා ලබා දී ඇති නව කොන්ත්රාත්තුවේ පළමු සැපයුම ලැබීමට නියමිතව ඇත්තේ ලබන මාර්තු මස අවසානයේදී බැවින් එම මාස දෙකක කාලය සඳහා දැනට සිටින සැපයුම්කරු වෙතින්ම තවත් කාඩ්පත් ලක්ෂ 05 ක ප්රමාණයක් ඇනවුම් කිරීමට අවශ්ය අමාත්ය මණ්ඩල අනුමතිය ලබා ගැනීමට යෝජනා කරන බවත්, ඒ අනුව ලබන වසරේ මැද භාගය වන විට මෙම ප්රමාදය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බවත් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
එසේම 2025.01.01 සිට 2026.03.09 වැනි දින දක්වා මුද්රණය කිරීමට නියමිතව එකතු වූ අංක තහඩු හේතුවෙන් වාහන අංක තහඩු 958,651ක පමණ විශාල ප්රමාදයක් පවතින බව ද මෙහිදී අනාවරණය විය.
මෙම ප්රමාදය අවසන් කිරීම සඳහා දැනට කොන්ත්රාත් ලබා දී ඇති කොන්ත්රාත් කරුටම වාහන අංක තහඩු ලබා ගැනීම සදහා කොන්ත්රාත්තුව ලබා දෙන්නේ නම් මාස හතක හෝ අටක හෝ කාලයක් ඇතුළත අදාළ ප්රමාදය ඉවත් කිරීමේ හැකියාව ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් දැනුම් දෙන ලදී. මෙම කටයුතු කඩිනමින් සහ කාර්යක්ෂමව සිදු කිරීමට අමාත්යවරයා විසින් මෙහිදී අවධාරණය කරන ලදී.
තවද, රාජ්ය ආදායම ඉහළ නැංවීම සහ වාහන හිමියන්ගේ විශේෂ කැමැත්තට අවස්ථාව සැලසීම යන අරමුණු දෙකම සලකා බලා විශේෂ වාහන ලියාපදිංචි අංක සහ පුද්ගලීක අංක තහඩු නිකුත් කිරීම පිළිබඳව ද කාරක සභාවේදී සාකච්ඡා කෙරිණි. පුද්ගලීක අංක තහඩු නිකුත් කිරීමේ යෝජනාවට අනුව පුද්ගල හෝ ව්යාපාරික හෝ නාමයක් ලියාපදිංචි අංකය වෙනුවට ප්රදර්ශනය කළ හැකි වනු ඇත. මෙම යෝජනාව ක්රියාත්මක කිරීමට පෙර එහි තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක තත්ත්වය පිළිබඳව පුළුල් ලෙස අධ්යයනය කිරීමේ අවශ්යතාව ද අවධාරණය කෙරිණි.
ප්රවාහන සහ නාගරික සංවර්ධන ක්ෂේත්රවලට අදාළව ගැටලු බොහෝමයක් මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරු කාරක සභාවේ අවධානයට යොමු කළ අතර ඒවා සම්බන්ධයෙන් පියවර ගැනීමට අමාත්යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
නියෝජ්ය අමාත්යවරුන් වන වෛද්ය ප්රසන්න ගුණසේන සහ එරංග ගුණසේකර යන මහත්වරුන් ඇතුළු මන්ත්රීවරු පිරිසක් ද, ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු අමාත්යාංශය සහ ඒ යටතේ ඇති ආයතන නියෝජනය කරන නිලධාරීහු පිරිසක් ද මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ













