‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 25ක් – ඇමතිගෙන් හෙළිදරව්වක්

‘ප්‍රජා ශක්ති’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය සඳහා වෙන් කරන ලද රු.මිලියන 25,000 ක ප්‍රතිපාදන මගින් රු.මිලියන 23,000 ක් දිස්ත්‍රික් පදනමින් ප්‍රජා සංවර්ධන සභා මගින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති බවත්, ඉතිරි රු.මිලියන 2,000 න් ජාතික මට්ටමින් හඳුනාගනු ලබන මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේදී සභාගත කළ පිළිතුරෙහි සඳහන් වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරේ ඉහත කරුණු සඳහන් විය.

එම සභාගත කළ පිළිතුරට අනුව, ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරය යටතේ රු.මිලියන 24,221.38 ක ව්‍යාපෘති 15,725 ක් ආරම්භ කර ඇති අතර ඉන් ව්‍යාපෘති 15,316ක් ජීවනෝපාය සංවර්ධනය යටතේද , 273ක් අධ්‍යාපනය යටතේද සහ 136ක් සෞඛ්‍ය යටතේද ක්‍රියාත්මක වෙයි. මෙම සියලුම ව්‍යාපෘති 2026.12.31 දින වන විට අවසන් කිරීමට නියමිතය.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මගින් ඒ ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ඍජුවම අදාළ වන ව්‍යාපෘති හඳුනා ගැනීමට කටයුතු කරනු ලබයි. නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්‍ෂිතතාවය, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය, රැකවරණය මෙන්ම සැපයුම් ජාල සහ ප්‍රවේශය යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන ජාතික ලේකම් කාර්යාලය මගින් ආබාධ සහිත පාසල් දරුවන් විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ වෙනත් රේඛිය අමාත්‍යාංශ, ආබාධ සහිත පාසල් දරුවන් සඳහා මූල්‍යාධාර හෝ වෙනත් සහනාධාර හෝ ලබා දීම සිදු කරයි. එසේම, ආබාධ සහිත පුද්ගලයින්ගේ සහ එම පවුල් ඒකක සවිබලගැන්වීමේ අරමුණින් ඔවුන් සඳහා විශේෂිත වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, මූල්‍ය ආධාර ලබාදීම, සහනාධාර ලබාදීම, සහ සුබසාධන වැඩසටහන් ආදිය ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website