දිවයින පුරා පවතින වැසි තත්ත්වයත් සමඟ නැවත ඩෙංගු රෝගය ඉහළ යා හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්ය චමිල් විජේසිංහ මහතා අද (26) කොළඹදී පැවැති මාධ්ය හමුවකදී අනතුරු ඇඟවීමක් කළේය.
ඔහු පැවසුවේ ඩෙංගු රෝගය නැවත උත්සන්න වීම වැළැක්වීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.
“විශේෂයෙන් මේ මාසයේ ආරම්භයේ සිටම කඩින් කඩ දැඩි වර්ෂාවක් ලැබුණා. මේ වර්ෂාපතනයේ ඉහළ යෑමක් සමඟ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් ඇතිවීමේ තත්ත්වයක් තිබෙනවායි කියන කාරණ අපි නිරීක්ෂණය කළා. මොකද කීට විද්යාත්මක තොරතුරු හරහා අපිට පැහැදිලි වෙලා තිබුණා මදුරු ඝනත්වය සහ මදුරු කීට ඝනත්වය ඉහළ යමින් තිබෙන බව. ඒ තුළ පෙනන සංඥාව තමයි ඉදිරියේදී නැවත ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් අපිට දකින්නට ලැබෙයි කියන කාරණය”.
මෙහි දී වෛද්ය විජේසිංහ පැවසුවේ ඊසාන දිග මෝසම් වර්ෂාවත් සමඟ නැගෙනහිර පළාත, උතුරු පළාත, උතුරුමැද පළාත් වල ඩෙංගු රෝගීන් ඉහළ යාමක් පුරෝකථනය කර ඇති බවයි.
ඩෙංගු පාලනයට ගත හැකි සාර්ථකම පියවර නිවාස ඇතුළු ගොඩනැගිලි පරිශ්ර පවිත්රව තබා ගැනීම බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර දිවයින පුරා තවදුරටත් ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 28ක් හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
2026 වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා ඩෙංගු රෝගීන් 79 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝගීන් 105,097 දෙනෙකු හඳුනා ගෙන තිබේ. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් (54,673ක්) බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එය මුළු රෝගීන් සංඛ්යාවෙන් 52.02%ක ප්රතිශතයකි.
දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්යාවක් ගම්පහ දිස්ත්රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්යාව 22,053කි.
ඔක්තෝබර් මාසයේ ගතවූ දින 25 තුළදී පමණක් ඩෙංගු රෝගීන් 4,377ක් වාර්තා වී ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේය.
















