ප්‍රජා ශක්ති ජාතික ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරයි

ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දිස්ත්‍රික් ලෙක්ම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂවරු දැනුවත් කිරිමේ වැඩසටහනක් ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි ඊයේ (24) පැවැත්විණ.

එහිදි අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ආචර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රජාශක්ති ඇතුළු සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමේදී නිලධාරීන් අතර මනා සම්බන්ධයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවත්, සංවර්ධනයට බාධා වන යම් ගැටළු තිබේ නම් ඒවා ක්‍රමවත්ව විසඳා ගත යුතු බවත් පෙන්වා දුන්නේය.

නිලධාරියෙකු තුළ අභ්‍යන්තරව ගොඩනගා ගත යුතු ගුණ ධර්ම ඇති බවත්, රාජ්‍ය සේවයේ නිලධාරීන් කාර්යක්ෂමව සහ කණ්ඩායමක් ලෙස සිතීම මගින් සංවර්ධන කටයුතු පහසු වන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

එසේම, පෞද්ගලිකවම නිලධාරියකු ලෙස ගොඩනැගීමේදී දූෂණයෙන් තොර නිලධාරියකු ලෙස තමන්ට සිතන්නට අවශ්‍ය ආකාරයද ඔහු පැහැදිලි කළේය.

පහුගිය ආර්ථික අර්බුදය කාලයේ අරගලය තුළින් මතුවුණ විශේෂ හඬක් තමයි දුෂිත දේශපාලඥයින් ඉවත් කළ යුතු බව. රාජ්‍ය සේවකයොත් ඊට වගකිව යුතුයි කිය කාරණාවත් ඊට යටින් මතුවුණා. පහුගිය මැතිවරණයේදි ජනතාවට හැකියාව ලැබුණා දුෂිත දේශපාලඥයින් ගෙදර යවලා නව බලවේගයක් බලයට ගේන්න. නමුත් ඔවුන්ට නිලධාරින් මාරු කරන්න, ගෙදර යවන්න බැහැ. ඒකට ක්‍රමයක් නැහැ. රජයේ ආයතනයකින් වැඩක් කරගන්න ගිය විට යම් අකටයුත්තක් අසාධාරණයක්, අවැඩක් වෙනවා නම් ඒ බව කියන්න තැනක් අවශ්‍යයි. ඒ සඳහා තමයි අපි රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටෙව්වේ.

මොකක්ද දූෂනයක් කියන්නේ? මේවා ගැන රාජ්‍ය සේවකයෝ අතරත් පැහැදිලි අදහසක් නැහැ. තමන්ට රාජකාරිය සඳහා ලබා දුන් බලය තමන්ගේ පෞද්ගලික සුඛ විහරණය සඳහා මොන ආකාරයකින් හෝ භාවිතා කරනවා නම් ඒක දූෂණයක්. මේවාට මුලින්ම මැදිහත් නොවුනාම, ඉහළ සිටම මේ ආකාරයට කටයුතු කළාම මෙය සාමාන්‍ය ක්‍රමවේදයක් බවට පත් වෙනවා. අපේ රටේ තිබුණේ ඒවැනි ක්‍රමවේදයක්. අපි ඇයි මෙය පිටුදැකිය යුත්තේ.‍ මේවා අවාසනයේදී ආර්ථික අර්බුදයක් බවට පත් කළ හැකියි. මේ නිසා ආයෝජකයේ රටට එන්න අකමැති වෙනවා. ඒ කාලේ අවශ්‍ය ව්‍යාපෘති කළේ නැහැ. අනවශ්‍ය ව්‍යාපෘති කළා. ඒ සියල්ල තුළ රට ණය වුණා. අපේ රට අවසානයේ තෙල් ටික ආනයනය කරන්න විදේශ විනිමය නැති වෙන තැනට පත් වුණා. ජනතාවට දරාගන්න බැරි ලෙස බදු පැනවුණා. දුප්පත්කම වැඩි වුණා. මේකට හේතුව වුණේ දූෂණයයි. ඒ තුළ මිනිස් සම්බන්ධතා නැති වෙලා අපරාධ වැඩි වෙනවා. දැන් මේක පෞද්ගලික

අංශයට පවා ගලාගෙන ගිහින්. මේ දේවල් නිසා අපේ රට දූෂණය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ලෝකයේ පහළම තැනකට වැටුණා.

ජනතාවට මේ දේවල් කියන්න තැනක් තිබුණේ නැහැ. මේවා කිව්වම තමන්ගේ ආරක්ෂාවට මොකද වෙන්නේ කියලා මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒනිසා කවුරුවත් තමන් දන්න දේ කිව්වේ නැහැ. අන්තිමට මේවා කොතැනකදී හෝ පුපුරා යනවා. අරගලය කියන්නේ එවැනි අවස්ථාවක්. මේවා කියන තැනකට මිනිස්සු ගේන්න ඔන. ඒ තුළින් අපි බලාපොරොත්තු වන්නේ රාජ්‍ය සේවකයින්ගේ සුපිළිපන්න භාවය වැඩි කරගැනීමයි. රජයේ ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටෙව්වේ ඒ සඳහායි. ඔබට සිදුවන අකටයුත්ත අසාධාරණය ඔබ එම ආයතනවලට පැමිණිලි කරන්න. අපි ඒ සඳහා මැදිහත් වෙනවා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර මහතා මාතෘකා පහක් ඔස්සේ කරුණු පැහැදිලි කරන ලදී. 2027 ග්‍රාමීය මාර්ග සංවර්ධන දත්ත පද්ධතිය, පර්යේෂණ ඒකකය (Innovation hub) හඳුන්වා දීම, උපාය මාර්ගික සැලසුම සකස් කිරීම, වැව් සහ එල්ලංගා පද්ධතිය සම්බන්ධ මාර්ගගත තොරතුරු පද්ධතියට දත්ත ලබා ගැනීම, ව්‍යවසායකත්ව සංවර්ධන දත්ත පද්ධතිය හඳුන්වා දීම ඊට අයත් විය.

ප්‍රජාශක්ති වැඩසටහන ප්‍රජා සංවර්ධනය සහ ග්‍රාමීය සංවර්ධනයේ කේන්ද්‍රී මධ්‍යස්ථානය බවට පත් කිරීම අපේ බලාපොරොත්තුවයි. වර්තමානයේදී එහි වැදගත්ම සාධකය දත්ත සහ තොරතුරුයි. ලෝකයේ අධිරාජ්‍යයන් බිඳ වැටිලා තියෙනවා දත්ත සහ තොරතුරු නිසියාකාරව නැතිකම නිසා. ඒ නිසා අපේ ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ එක් ප්‍රධාන අරමුණක් තමයි ජාතික සංවර්ධනය දත්ත පද්ධතියක් ගොඩනැගීම. ඒ සඳහා අපි මූලික කටයුතු කරමින් සිටිනවා. එහිදී හඳුනාගත් අභියෝග වලට විසඳුම් සොයමින් මේ දත්ත පද්ධතිය ගොඩනගා තිබෙනවා.

අපි මේ වන විටත් දත්ත පද්ධති හතරක් පමණ හඳුන්වා දී තිබෙනවා. ලබන වසරේ ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය ඉලක්ක කරගෙන තොරතුරු පද්ධතියක් සකස් කරනවා. එයින් ඒක් පද්ධතියක් තමයි ග්‍රාමීය මාර්ග සම්බන්ධ තොරතුරු. එහි මාර්ග සංවර්ධන අධිකාරිය සතු මාර්ග දහදාහක් පමණ තිබුණා. එතනින් පහළට තිබෙන සියලුම මාර්ග සම්බන්ධයෙන් තොරතුරු පද්ධතිය සකස් කර එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා 2027 වසරේ ප්‍රතිපාදන වෙන් කරන බවට තහවුරු කර තිබෙනවා. දෙසැම්බර් මාසය වන වට අපි මේ සඳහා සූදානම් වුව හොත් ජනවාරි වන විට වැඩ කටයුතු ආරම්භ කිරීමට අපට හැකි වෙනවා.

මේ දත්ත පද්ධතිය පවත්වාගෙන යාම තුළින් ප්‍රජාව විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අදාල ආයතන වෙත යොමු කර සංවර්ධන කටයුත්ත සිදු කරන අතර ඒ අදාළ තොරතුරු ද එම දත්ත පද්ධතියට එකතු කරනවා. ඒ තුළින් කිසියම් යම් දවසක අදාළ මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු ලබා ගැනීමට හැකි වෙනවා.

දැන් අප මුහුණ දී සිටින්නේ දේශගුණික විපර්යාසයක් සිදුවන කාල වකවානුවක. දැඩි නියගය හා අධික වර්ෂාව සහිත දේශගුණික වෙනස්කම් තුළ ජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවි බිම් හා අනෙකුත් කර්මාන්ත සදහා, විදුලි උත්පාදනයට ආදී සියලු කාරණා සඳහා අප සතු ජලය මනාය කළමනාකරණය කරගතයුතුව තිබෙනවා.

ඒ වගේම අපි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින්ද පහළට ගිහින් එක් එක් ගම්මාන ඉලක්ක කර ගනිමින් සංවර්ධන වැඩපිළිවෙලක් තුන් වාර්ෂික සැලැස්මක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනට අපි ඒ සඳහා උපාය මාර්ගික ජාතික සැලැස්ම සකස් කරමින් සිටිනවා. මේක තාක්ෂණිකව ටිකක් අමාරු කාර්යයක්. ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය ලෙස අපි ඒ සඳහා විශ්වවිද්‍යාල පද්ධතියේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම අපි එතනට සීමා නොවී මේ සඳහා දැනුම හැකියාව තිබෙන වෙනත් සංවිධාන පුද්ගලික ආයතන, ස්විච්ඡා සංවිධාන, රාජ්‍ය ආයතන ආදී අදාලන තොරතුරු හා දැනුම තාක්ෂිනය සහිත වෙනත් ආයතනයන් සමඟද සම්බන්ධ වී ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරනවා. අපේ මූලික සංකල්පය තමයි සංවර්ධනයේ අවශ්‍යතාවය ප්‍රජාව විසින් හඳුනා ගත් පසු සංවර්ධනය විභවතාවය ඊට අදාල බහුවිධ කණ්ඩායම්වලින් හදුනාගෙන ප්‍රජා ශක්ති ව්‍යාපාරය හරහා ක්‍රියාත්මක කිරීම.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පද්ධතිය සංවර්ධන කටයුතු මෙහෙයවන කේන්ද්‍රීය මධ්‍යස්ථාන බවට තවදුරටත් පත් කරන්නේ කෙසේද යන කාරණය පිළිබඳව ජනාධිපතිතුමා පූර්ව අයවැය සාකච්ඡාවලදි මතු කළා.

කලින් පැවැති ව්‍යුහය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ සැලසුම් අංශ මැදිහත්වීමෙන් යෝජනා ඉදිරිපත් කර, දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව හරහා ක්‍රියාත්මක වූ අතර, දැන් ඊට පහළින් තවත් ව්‍යුහයක් පැමිණ තිබෙනවා. එමගින් ඉදිරිපත් වන ව්‍යාපෘති යෝජනා සහ සැලසුම්වල යම් විභවයක් පවතින අතර, ඒවා ග්‍රාමීය සැලසුම්වලට පමණක් සීමා නොවී ප්‍රාදේශීය, දිස්ත්‍රික්, පළාත් හෝ ජාතික මට්ටමේ වැඩසටහන් බවට පරිවර්තනය වීමේ ඉඩකඩක් පවතිනවා.

ග්‍රාමීය ප්‍රාදේශික සංවර්ධන සභා යෝජනා ඉදිරිපත් කරන්නේ තමන්ට අදාළ භූගෝලීය ප්‍රදේශයට සීමා වෙමින් වුවද, එහි වෙනත් විභවයන් පවතින බැවින් ඒවා හඳුනාගෙන ජාතික මට්ටමේ වැඩසටහන් බවට පරිවර්තනය කිරීමේ වගකීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා සහ ජාතික මට්ටමට හිමිවෙනවා.යෝජනා ඉදිරිපත් කළ කණ්ඩායම් තම ග්‍රාමීය ප්‍රදේශවල ඒවා ක්‍රියාත්මක වී ප්‍රතිඵල ලැබෙනු දැකීමට බලවත් උනන්දුවක් දක්වන බැවින්, ඉක්මන් ප්‍රතිඵල දෙන දේවල් ඇතුළත් කර ඒවා පණගැන්වීමේ අවශ්‍යතාවයක් පවතිනවා.

දීර්ඝ කාලයක් ගතවී සම්ප්‍රදායික ආකෘතිය තුළම සිදු වන්නේ නම්, මෙම ව්‍යාපාරය කෙරෙහි ඇති විශ්වාසය හීන විය හැකියි. ඒ වගේම මෙම ව්‍යුහාත්මක පදනම ගොඩනගන විට මෙම පද්ධතිය තුළ සිටින්නේ මනුෂ්‍යයන් වන බැවින්, ග්‍රාමීය, ප්‍රාදේශීය හෝ දිස්ත්‍රික් මට්ටමේදී ඔවුන් සිතන පතන ආකාරය, අන්තර් පුද්ගලික සම්බන්ධතා සහ දැනුම නිසා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අනවබෝධයන් හා ගැටුම් ඇතිවිය හැකියි. පරිපාලනය සහ සැලසුම්කරණය පිළිබඳ පරිචයක් ඇති කණ්ඩායමක් ලෙස පරිණතව එම ගැටලු විසඳා ගැනීමේ අවශ්‍යතාව පවතිනවා. එම ගැටලු විසඳා ගැනීමට ජාතික මට්ටම දක්වා ව්‍යුහයක් පවතින අතර, එය භාවිතා කළ යුතුයි. වසරක අත්දැකීම් තුළ මතු වූ ප්‍රශ්න සාකච්ඡා කර ඉදිරි දිශානතිය තීරණය කිරීම වැදගත් වෙනවා. සාම්ප්‍රදායිකව

සංවර්ධන වැඩසටහන් දෙසැම්බර් 31 දිනට සීමා කළත්, අවුරුද්ද මැද වුවද යමක් අනුමත කර ක්‍රියාත්මක කිරීමේ ව්‍යුහාත්මක වෙනසක් ගැන සැලකිලිමත් විය යුතුයි.

ජාතික මට්ටමින් සැලසුම් වන වැඩසටහන් පිළිබඳව වසරකට වරක් හෝ දෙවරක් ප්‍රජා සංවර්ධන සභාවන් දැනුවත් කළ යුතුයි. ප්‍රජා සංවර්ධන සභාවල සිටින පිරිස ගමේ පාර හැදීම වැනි තමන් මුහුණ දෙන අත්දැකීම් ගැන පමණක් අවධානය යොමු නොකර ජාතික මට්ටමේ දැක්මක් සහිතව කටයුතු කළ යුතුයි. එම සභාවලින් එන යෝජනාවල ඇති විභවතාවයන් ජාතික තලයේ සංවාදයට ලක්විය යුතු අතර, ඉදිරි ව්‍යාපෘති, ආයෝජන හෝ ප්‍රදානයන් ලැබෙන විට ඒ පිළිබඳ දැනුවත්භාවයක් තිබිය යුතුයි. ඒ වගේම ගමේ ජනතාව නගරයට ගෙන ඒම වෙනුවට ගම්වලම වඩා හොඳ ජීවන තත්ත්වයක් ඇති කිරීම රජයේ දැක්මයි. ඒ නිසා ප්‍රජා සංවර්ධන සභාවල නිලධාරීන්ට ගමෙන් ඔබ්බට ගිය මුළුමහත් දැක්මක් සහිතව කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා

රාජ්‍ය නිලධාරීන්ට විශේෂයෙන්ම සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. නිලධාරීන්ගෙන් උපරිම සහාය ලබා ගැනීම අපි අපේක්ෂා කරන බව ප්‍රකාශ කරා. ඒ වගේම නිලධාරීන් තම තමාට පැවරුණු මූලික රාජකාරිය විවිධ ව්‍යාජ සටන් පාඨ පදනම් විරහිතව කරන වෘත්තීය අරගල ඉදිරිපත් කරමින් තමන්ගේ වෘත්තීය නොකර සිටීමට උත්සාහ ගැනීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබෙනවා. රට සංවර්ධනය කරන්න නම් තම තමාට පැවරිලා තියෙන රාජකාරිය සහ පවරලා තියෙන රාජකාරී ගැන විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි

ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ 2026 වසරේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාද ප්‍රජාශක්ති ජාතික වැඩසටහන යටතේ සැලසුම් කර ඇති ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් එච්. එම්. කේ. ජේ. බී. ගුණරත්න මහතා ද එහිදි අදහස් දැක්වූහ.

එසේම ජනාධිපති ලේකම් කාර්යාලයේ විවිධ අංශවල අතිරේක ලේකම්වරු විසින් පහත සඳහන් කරුණු කෙරෙහි දී නිලධාරීන් දැනුවත් කරන ලදී. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අත්තම වැඩසටහන සමබන්ධයෙන් දැනුවත් කිරීම, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛ ප්‍රකාරව දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූවන්ට සහන සැලසීමට අදාළ දැනුවත් කිරීම, ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් හඳුන්වා දී ඇති නඩු කළමනාකරණ පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීම, ජනාධිපති කාර්යාලයේ නීති අංශයෙන් හඳුන්වා දී ඇති නඩු කළමනාකරණ පද්ධතිය පිළිබඳ දැනුවත් කිරීම .

මෙම අවස්ථාවට ප්‍රජාශක්ති ජාතික වැඩසටහනේ විධායක සභා සමාජිකයෝ, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු හා දිස්ත්‍රික් ක්‍රමසම්පාදන අධ්‍යක්ෂකවරු ඇතුළු රජයේ නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website