සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් 26 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) සිය විභාගය අවසන් කළේය.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනිණි.
මතභේදයට ලක්ව ඇති පනත් කෙටුම්පතේ විධිවිධාන කිහිපයක් සංශෝධනය කරන බවට නීතිපතිවරයා ප්‍රතිඥා ලබා දීමෙන් පසු මෙහි විභාග කටයුතු අවසන් වීම විශේෂත්වයකි.
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසානයේ දී පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තම රහස්‍ය තීරණය කථානායකවරයාට සහ ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේය.
නඩු කටයුතු අතරතුර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ, රජය විසින් පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් යෝජනා කර ඇති බවත්, එම වෙනස්කම් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත්ය.
යෝජිත සංශෝධන ඇතුළත් ලේඛනයක් ද ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
නීතිපතිවරයා යෝජනා කළ ප්‍රධාන සංශෝධන අතර,
- පනත් කෙටුම්පතේ අන්තර්ගත සුරාබදු පනත සම්බන්ධ වැරදි සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට යෝජනා කර ඇත.
- බුද්ධිමය දේපළ වැරදිවලට අදාළ ප්‍රකාශන අයිතිය (Copy Right) පිළිබඳ වැරදි ද එම පනත් කෙටුම්පතෙන් ඉවත් කිරීමට යෝජනා කර තිබේ.
- පනත් කෙටුම්පත තුළ අන්තර්ගත “පච්චා සහ සලකුණු” පිළිබඳ ප්‍රතිපාදන ඉවත් කර ගන්නා අතර බරපතළ අපරාධ සම්බන්ධ නඩුකරයක යම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අධිකරණයේ අවසර ලබා ගත යුතු බවත් සඳහන් ප්රතිපාදනය ද ඉවත් කර ගන්නා බව ද සොලිසිටර් ජෙනරල්වරයා පැවසීය.
- සැකකරුවෙකු රඳවා ගැනීමට යෝජිත පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කරන විධිවිධාන හඳුන්වා දීම,
- බරපතල අපරාධවලට අදාළ නඩු සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට පෙර අධිකරණ අනුමැතිය අවශ්‍ය වන වගන්තියේ විධිවිධානය ඉවත් කිරීම,
අත්අඩංගුවට ගත් පුද්ගලයින් රඳවා තබා ගැනීම සහ රැඳවුම් නියෝග නිකුත් කිරීම සම්බන්ධ සංශෝධන පසුව සලකා බලන බව ද නීතිපතිවරයා අධිකරණයට දන්වන ලදී.
රජයේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිපතිවරයා විසින් දැනුම් දෙන ලද යෝජිත සංශෝධන පාර්ලිමේන්තු ක්‍රියාවලියේ කාරක සභා අවස්ථාව තුළ විධිමත් ලෙස ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම පනත් කෙටුම්පතට අදාළ සංශෝධන පිළිබඳ ලිඛිත දේශන අනිද්දා සවස 4.00ට පෙර ඉදිරිපත් කරන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේ ය.












